Tuesday, October 9, 2012

සාම්ප්‍රදායික ඥාන දායාදය සැඟැවුණු පුස්කොළ ලේඛන



කිසියම් සමාජයක් හෝ සංස්කෘතියක් සතු දැනුම් සම්භාරය හා පාරම්පරික ඥානය අනාගත පරපුර වෙත සම්පේ‍්‍රෂණය කරනු ලබන්නේ අදාළ සමාජය සතු ලේඛන මාධ්‍යයන් මඟිනි. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික සමාජය විසින් අත්දැකීමෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් ග්‍රහණය කරගත් සාම්ප්‍රදායික දැනුම එක්තැන් වී ඇත්තේ පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ පුස්කොළ පොත්වල ය. එබැවින් මේ ලේඛන අතීතයෙන් උරුම වූ ජාතික සම්පතක් වශයෙන් සැලැකීමට පිළිවන.
තල පත්‍රය හෝ තල් පත්‍රය සකස් කර ගැනීමෙන් තනා ගත් පුස්කොළ ලේඛන වසර දහස් ගණනක් තිස්සේ අතීත ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් දකුණු හා අග්නිදිග ආසියානු රටවල ද ප්‍රධාන ලේඛන මාධ්‍යය වශයෙන් පැවැතුණි. ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ම පුස්කොළ මත ලිවීම ප්‍රචලිත ව පැවැති බව සාහිත්‍යමය මූලාශ්‍රවලින් මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ද අනාවරණය වෙයි.
අනුරාධපුර ඇතුල් නුවර සල්ගහවත්ත 2 කැණිමෙන් පුස්කොළ පොත් කම්බ හතරක් හමුවී ඇති අතර රේඩියෝ කාබන් කාලනිර්ණ ක්‍රමයට කළ කාල නිර්ණයට අනුව ඒවා ක්‍රි. පූ. 3 වන සියවස හා ක්‍රි. ව. 1 වන සියවස අතර කාලයට අයත් වේ. මේ කම්බ ඇත් දළ හා සත්ත්ව අස්ථිවලින් නිර්මාණය කර ඇත. අනුරාධපුර ඇතුල් නුවර හා කිරින්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් ලිවීම සඳහා භාවිත කළ පන්හිඳවල් සොයා ගත හැකි විය.
සාහිත්‍යමය මූලාශ්‍රයන්හි ලේඛනය පිළිබඳ ව සඳහන් බොහෝ අවස්ථාවල ලේඛන මාධ්‍යය පිළිබඳව සඳහන් කර නොතිබුණ ද අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට ම ලේඛන කටයුතු සඳහා භාවිත කළ ප්‍රධාන මාධ්‍යය තල කොළය හා තල් කොළය වූ බව විශ්වාස කිරීමට තුඩු දෙන සාධක හමුවේ. අනුරාධපුර යුගයේදී සිදුවූ මහා පරිමාණ ලේඛන කාර්යයන් වන හෙළ අටුවා රචනා කිරීම (ක්‍රි. පූ. 3 වන සියවස), ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම (ක්‍රි. පූ. 1 වන සියවස) හා පාලි අට්ඨකථා ලිවීම (ක්‍රි. පූ. 5 වන සියවස) යන කාර්යයන් සඳහා පුස්කොළ භාවිත කළ බව පිළිගත හැකිය.
පුස්කොළ අතීත සමාජයේ ප්‍රචලිත ව පැවැති ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ බැවින් ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. වර්තමානයේ මුද්‍රණය කර ඇති මහාවංසය, දීපවංසය, බෝධිවංසය වැනි ඉතිහාස ග්‍රන්ථවල මෙන්ම කව්සිළුමිණ, ගුත්තිල කාව්‍යය, කාව්‍යශේඛරය, මුවදෙව්දාවත, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය හා පන්සියපනස් ජාතක පොත වැනි සාහිත්‍ය කෘතීන්හි ද සියලුම ත්‍රිපිටක ග්‍රන්ථවල ද දැනට ශේෂ වී ඇති මුල් පිටපත් සියල්ල ම පුස්කොළ මත ලියූ ඒවා ය.
ලේඛන මාධ්‍යයක් වශයෙන් තල පත්‍ර හා තල් පත්‍ර භාවිත වූ බව ක්‍රි. ව. 5 වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද කංඛාවිතරණි හා සමන්තපාසාදිකා යන අට්ඨකථාවල සඳහන් වේ. මෙම කෘතීන්හි අන්තර්ගත කරුණු බොහෝමයක් ඒවා රචනා වූ කාලයට වඩා පැරණි බව නිසැක ය. පැරණි යුගයේ විහාර ආශි‍්‍රතව වගා කර තිබූ තල ගස් හා තල් ගස් ගැන සංයුක්ත නිකායට්ඨ කථාවේ හා විශුද්ධි මාර්ගයේ තොරතුරු දක්වා ඇත.
මෙසේ මෙම ගස් වර්ග වගා කිරීමට හේතුව ලේඛනය සඳහා අවශ්‍ය පුස්කොළ සකස් කර ගැනීම බව පෙනී යයි. එමෙන්ම මෙම කරුණ පදනම් කරගෙන ක්‍රි. ව. 10 වන සියවස වන විට තල ගස් කැපීම තහනම් කරමින් රාජ ආඥා පනවා තිබුණි. උදා මහයාගේ පුලියන්කුලම ශිලා ලිපියේ එන “රදොලන් වැද තලන්... නොකපනු ඉසා” යන පාඨය හා IV  මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ දැක්වෙන කරුණු නිදසුන් වශයෙන් සඳහන් කිරීමට පිළිවන. ක්‍රි. ව. 12 වන සියවසේදී ද පුස්කොළ ප්‍රධාන ලේඛන මාධ්‍ය වශයෙන් පැවැති බවට අභිලේඛනමය සාධක පවතී.
මෙම ලේඛන මාධ්‍යය ජනපි‍්‍රයව පැවැති බවත් ඒවාට වේයන් හා මීයන් නිසා දැඩි තර්ජනයක් පැවැති බවත් නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු පුවරු ලිපියේ එන “නොඑක්ලෙසැ දස්කම් කළවුන්(ට).... ද... හිරසන්දපවත්නාතෙක් පවත්වුව මැනැවැයි (සි)තා වදාරා වෙයන් මීයන් ඇතුළු වූවන් විසින් සොපද්‍රව වූ තල්පතැ නොලියවා ලක්දිව පෙර පවත් නුවූ තාම්බ්‍රශාසන අකුරු කොටවා පවත් කොටැ...” යන පාඨයෙන් අනාවරණය වේ.
දැනට සොයා ගෙන ඇති පරිදි සිංහල අකුරින් ලියවී ඇති පැරණිතම පුස්කොළ ලේඛනය චීනයේ විහාරස්ථානයක ඇති ක්‍රි. ව. 7 වන සියවසට අයත් මහායාන ධාරණී ග්‍රන්ථයකි. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම පුස්කොළ පොත කොළඹ ජාතික කෞතුකාගාරය සතු ක්‍රි. ව. 13 වන සියවසට අයත් චුල්ලවග්ග පාලියයි.
වර්තමානයේ ඉතිරි වී ඇති පුස්කොළ ලේඛනවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රි. ව. 18 හා 19 වන සියවස්වල රචනා කරන ලද ඒවාය. නමුත් මෙම පොත් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අන්තර්ගතයන් ඒවා රචනා වූ කාලයට වඩා වසර සිය ගණනක් හෝ ඇතැම් විට වසර දහස් ගණනක් පැරණි බව අමතක නොකළ යුතුය. වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පුස්කොළ පොත් ලිවීම සුළු වශයෙන් සිදු කෙරේ.
පුස්කොළ ලේඛනයන්හි අන්තර්ගත කරුණුවල විෂයය පථය ඉතා පුළුල් පරාසයක් නියෝජනය කරයි. බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ හා අට්ඨකථා ප්‍රධාන බෞද්ධ ග්‍රන්ථවලට මේ අතර ප්‍රමුඛස්ථානය හිමි වේ. අනුරාධපුර යුගයේ සිට මෑත කාලීන අවධිය දක්වා රචනා වූ සිංහල භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ ග්‍රන්ථ ඉතා විශාල ප්‍රමාණයක දැනට ශේෂ වී ඇති මුල් පිටපත් පුස්කොළ මත ලියූ ඒවාය. පද්‍ය ග්‍රන්ථ, ගද්‍ය ග්‍රන්ථ, ව්‍යාකරණ ග්‍රන්ථ හා සිංහල හෝඩිය පිළිබඳ ග්‍රන්ථ ඒ අතර වේ.
පාලි හා සිංහල වංශ කථා, වෛද්‍ය ග්‍රන්ථ, නක්ෂත්‍ර පොත්, යන්ත්‍ර මන්ත්‍ර පොත්, ශිල්ප ග්‍රන්ථ, සන්නස්, තුඩපත්, ලේකම් මිටි, කඩඉම් පොත්, සීට්ටු, හිම්පත්, වට්ටෝරු, විත්ති පොත්, ලියුම් හා ජන්ම පත්‍ර ද පුස්කොළ ලේඛන අතර හමුවෙයි. ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගමික ග්‍රන්ථ ද පුස්කොළ මත රචනා කර ඇති අවස්ථා දක්නට ලැබේ. මහනුවර අම්පිටිය ජාතික සෙමනේරියේ ඇති බයිබලය හා හෙලේනා චරිතය ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති තක්කසුරූන් නම් ඉස්ලාම් ආගමික ග්‍රන්ථය ද ඌර්මිලා නිද්‍රා නම් හින්දු ආගමික ග්‍රන්ථය ද නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ අනුව පුස්කොළ ලේඛන මෙරට ජීවත් වන සියලුම වාර්ගික කණ්ඩායම් සතු ජාතික උරුමයක් බව පැහැදිලි වේ.
මෙම පුස්කොළ ලේඛන සියල්ලම අත්පිටපත් වන අතර ඇතැම් පොත්වල ලෝකයටම ඇත්තේ එක් පිටපතක් පමණි. එබැවින් එවැනි ග්‍රන්ථවල වටිනාකම තක්සේරු කළ නොහැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක ශ්‍රී ලංකාවේ පැරණි වාරි තාක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් සිංහල වාරිවංසය නම් ග්‍රන්ථයක් ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබුණ ද මේ වන තෙක් එම ග්‍රන්ථය සොයා ගැනීමට නොහැකි විය. එය සොයා ගතහොත් පුරාණ ලෝකයේ විශිෂ්ටතම වාරි තාක්ෂණයකට හිමිකම් කියූ අපේ අතීත මුතුන්මිත්තන් වාරිමාර්ග තැනීම, සැලැසුම් කිරීම හා මිනුම්ගත කිරීම ද ජල කළමනාකරණය ද සිදුකළ ආකාරය සම්බන්ධයෙන් මිල කළ නොහැකි තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
වංශකථා ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන්ව ඇති නමුත් මෙතෙක් හමුවී නැති ඉතිහාස ග්‍රන්ථ ද සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒ අතරින් කිහිපයක් හෝ තවමත් දිවයිනේ කිසියම් ස්ථානයක ආරක්ෂා වී තිබීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. මෙතෙක් හමු නොවූ අභයගිරි විහාරවාසීන්ගේ වංසකථාව වන උත්තර විහාරවංසය නිදසුනක් වශයෙන් පෙන්වා දීමට පිළිවන.
එම ග්‍රන්ථය සොයා ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් අනාවරණය කරගැනීමට ද ඉතිහාසය දෙස තවත් දෘෂ්ටි කෝණයකින් බැලීමට ද අවස්ථාව උදා වනු ඇත. රට පුරා විවිධ ස්ථානවල ඓතිහාසික තොරතුරු ඇතුළත් සන්නස්, තුඩපත්, කඩයිම් පොත්, විත්ති පොත් වැනි පුස්කොළ ලේඛන රැසක් ඇති අතර ඒවා විධිමත් ලෙස අධ්‍යයනය කිරීම තුළින් දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී.
පුස්කොළ පොත් සම්බන්ධ කලාත්මක කරුණු පිළිබඳව මෙතෙක් පුළුල් විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැත. පොත් කම්බවල දැව, ලෝහ, ඇත් දත් හා ලී කැටයම් ද චිත්‍ර ද දක්නට ලැබේ. මේවා බොහෝ විට මහනුවර කලා සම්ප්‍රදායේ ලක්ෂණ ප්‍රකට කරයි. එමෙන්ම ඇතැම් පොත්වල පත්තිරු මත නිර්මාණය කළ රේඛා චිත්‍ර හමුවේ.
කොළඹ කෞතුකාගාරයේ වෙස්සන්තර ජාතකය හා ඇහැලේපොළ හටන ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති විධුර පණ්ඩිත ජාතකය ද පුස්කොළ රේඛා චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය ප්‍රකට කරන නිර්මාණයන් ය. මේවායේ අදාළ සිදුවීම් දක්වන රූප සටහන් මෙන්ම ලිඛිත විස්තර ද දක්වා ඇති බැවින් ඒවා ලෝකයේ පැරණිතම චිත්‍ර කථා අතරට අයත් වෙයි.
ජාතිය සතු මහඟු උරුමයක් වන පුස්කොළ ලේඛන වර්තමානයේදී පරිහරණයට නොගන්නා අතර ඒවා විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතී. අතීතයේ ලියන ලද මිලියන ගණනක් වූ පුස්කොළ ලේඛන අතරින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ජාතියට අහිමි වී ගොස් අවසාන ය. ඒ අතරින් අද ඉතිරි වී ඇති බව අනුමාන කළ හැක්කේ පුස්කොළ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයකි.
මේවා දැනට සොයා ගෙන ඇති පරිදි රට පුරා ස්ථාන 1800 කට වැඩි ප්‍රමාණයක විසිරී ඇත. පොත් දස දහසකට අධික ප්‍රමාණයක් එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල කෞතුකාගාර, පුස්තකාල, ලේඛනාගාර හා පෞද්ගලික එකතුන් සතුව පවතී.
පැරැන්නෝ පුස්කොළ පොත් ලිවීම, ලියවීම මෙන්ම ආරක්ෂා කිරීම ද පුණ්‍ය කර්මයන් කොට සැලකූහ. පොත් ලිවීම හා ඒ සඳහා අනුග්‍රහය දැක්වීම අක්ෂර දාන ලෙස හැඳින්වූ ඔවුහු අක්ෂරයක් අක්ෂරයක් පාසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ද දිව්‍ය සම්පත් ද ලැබීමට හේතු වන උසස් පින්කමක් බව විශ්වාස කළෝය.
ධර්ම ග්‍රන්ථ ‘පොත් වහන්සේ’ යැයි හඳුන්වමින් වන්දනාමාන කරමින් ආරක්ෂා කරන ලදී. පොත් කොහොඹ වැනි කෘමි ප්‍රතිරෝධක දැවවලින් තැනූ පෙට්ටිවල තැන්පත් කර සැවැන්දරා මුල්, කපුරු, කොහොඹ කොළ හා ඖෂධීය තෙල් ආදිය යොදා ගෙන වරින්වර පරීක්ෂා කරමින් මනාව නඩත්තු කිරීම සිදුවිය.
මෙම ජාතික උරුමය දීර්ඝ කාලීනව ආරක්ෂා කරගැනීම සහ එහි අන්තර්ගත දැනුම් සම්භාරය තුළින් වර්තමානයට හා අනාගතයට ප්‍රයෝජන ලබා ගැනීම පිණිස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම අරබයා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාවේ ජන සමාජයේ හා සංස්කෘතියේ විවිධ පැතිකඩ නියෝජනය වන පුස්කොළ පොත් ගබඩා කර ඇති ස්ථාන ගවේෂණය කිරීම, අධ්‍යයනය, වර්ගීකරණය, විවරණ සහිත සූචිගත කිරීම හා සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතියේ ද්විතීය අරමුණු කිහිපයක් ද හඳුනාගත හැකි ය.
. මෙතෙක් හෙළි නොවූ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීම.
. අප්‍රකට ශාසනික තොරතුරු අනාවරණය කරගැනීම.
. පාලි, සංස්කෘත, සිංහල ව්‍යාකරණ හා සාහිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම.
. වෛද්‍ය විද්‍යාව හා පශු චිකිත්සාව සම්බන්ධ අප්‍රකට දේශීය වෛද්‍ය ක්‍රම අනාවරණය කරගැනීම.
. යන්ත්‍ර, මන්ත්‍ර, ගුප්ත විද්‍යා හා කෙම් පහන් ක්‍රම අනාවරණය කරගැනීම.
. විවිධ දේශීය ශිල්ප ශාස්ත්‍ර පොත් සොයා ගැනීම.
. අක්ෂර විද්‍යාවේ විවිධ ක්‍රමවේද සොයා ගැනීම.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පියවර කිහිපයකින් සමන්විත වෙයි. පුස්කොළ පොත් සමීක්ෂණ කටයුතු දිස්ත්‍රික් මට්ටමෙන් සිදුකරනු ලබන අතර මේ වන විට මාතලේ, කුරුණැගල, ගම්පහ, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සමීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ද සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සිංහල, පාලි හා සංස්කෘත දැනුම සහිත තෝරාගත් ගිහි පැවිදි උගතුන් පහළොස් දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් විසින් සමීක්ෂණ කටයුතු කරගෙන යනු ලබයි.
නියමිත ආකෘති පත්‍රවලට එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කර වැදගත් තොරතුරු සහිත විශේෂ ග්‍රන්ථ තෝරාගෙන අදාළ විෂයය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ඇතිව ඒවා ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ. සියලුම දත්ත පරිගණක ගත කර පරිගණක දත්ත බැංකුවක් ඇති කිරීම ද දත්ත මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම ද මෙම ව්‍යාපෘතියෙන් සිදුවන වැදගත් කාර්යයන් දෙකකි. පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට හා අඛණ්ඩ පශ්චාත් නිරීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අපේක්ෂිතය. එමෙන්ම ව්‍යාපෘතිය මඟින් පුස්කොළ ලේඛන සම්ප්‍රදාය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රකාශන නිකුත් කිරීම හා ප්‍රදර්ශන පැවැත්වීම ද සිදුකරනු ලබයි.
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර වසරකට අධික කාලයක් ගතවී ඇති අතර ස්ථාන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක ඇති පුස්කොළ ලේඛන හත්දහස් පන්සියයක් පමණ එම කාලය තුළ සමීක්ෂණයට භාජනය කර ඇත. මෙම පර්යේෂණ කටයුතු තුළින් මේ වන විට වැදගත් ලේඛන විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගත හැකිවී තිබේ. ඒවා පිළිබඳ වැඩිදුර පර්යේෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතී. පුරාණ තාක්ෂණය, වෙදකම, ඉතිහාසය, කෘෂිකර්මය, අභිචාර කටයුතු, නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ ඇතැම් ග්‍රන්ථ ඒ අතර ප්‍රධාන වේ. මේවා සියල්ලම පාහේ මෙතෙක් මුද්‍රණය කර නොමැති අත්පිටපත් ය.
පැරණි ලෝහ කර්මාන්තය, බුද්ධ ප්‍රතිමා නිර්මාණය, කෘෂිකාර්මික උපකරණ හා ආයුධ තැනීම පිළිබඳ ශිල්පීය දැනුම අන්තර්ගත ලේඛන කිහිපයක් හමුවී ඇත. මේවා පුරාණ තාක්ෂණය පිළිබඳ අප සතු දැනුම වඩාත් පුළුල් කිරීමට හේතු වන ලේඛනයන් ය. ගොවිතැන් පරකාසේ නම් ග්‍රන්ථය කෘෂිකර්මය හා බැඳුණු සාම්ප්‍රදායික තාක්ෂණික දැනුම අනාවරණය කර ගත හැකි පද්‍ය ග්‍රන්ථයකි. එයට අමතරව ගොවි නැකත් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් ද හමුවී ඇත.
මෙතෙක් සමීක්ෂණයට ලක් කළ ලේඛන තුළින් හෙළි කර ගත හැකි ඓතිහාසික තොරතුරු ප්‍රමාණය ඉතා විශාලය. එවැනි ලේඛන අතරින් විවිධ තුඩපත්, සන්නස් හා කඩයිම් පොත් මෙන්ම දඹදෙණි විස්තරය, ගජබා පුවත, පබ්බජ්ජා උපසම්පදාවත, 1828 දළදා උත්සව විස්තරය, මහනුවර යුගයේ හේවායන්ගේ නාම ලේඛනය හා දඹුලු විහාරයේ ගම්වර ලේඛනය යන ලේඛන නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පබ්බජ්ජා උපසම්පදාවත ක්‍රි. ව. 1753 දී මෙරටට පැමිණි සියම් භික්ෂුන් බෞද්ධ විනය කර්ම හා පූජා කටයුතු සිදුකළ ආකාරය විස්තරාත්මකව වාර්තා කරන ලේඛනයකි. මහනුවර සමයේ හේවායන්ගේ නාම ලේඛනයේ දහසකට ආසන්න හේවායන් සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙයි.
දේශීය වෙදකම සම්බන්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සමීක්ෂණයට ලක්කර ඇත. ඒ අතරින් ඇතැම් ග්‍රන්ථ පොදුවේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර නිර්දේශ කරන අතර ඇතැම් ග්‍රන්ථ නිල වෙදකම, විදුම් පිළිස්සුම් වෙදකම, ඇස් රෝග, පශු වෙදකම වැනි තෝරාගත් විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව ලියන ලද කෘතීන් වේ. එමෙන්ම විවිධ වර්ගවල පිළිකා රෝග සඳහා නිර්දේශිත බෙහෙත් වට්ටෝරු සිය ගණනක් ද දක්නට ලැබේ. මෙම දත්ත පදනම් කරගෙන සිදුකරනු ලබන අනාගත පර්යේෂණ තුළින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බේරගැනීමේ හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතී.
ජීවිතයේ විවිධ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර යොදා ගන්නා ආකාරය විස්තර කරන ග්‍රන්ථ සැලකිය යුතු ප්‍රමාණයක් ද සොයා ගත හැකි විය. බලි යාග සඳහා රූප අඹන ආකාරය ද යාග පවත්වන ආකාරය ද විස්තර කරන ලේඛන අභිචාර කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් වෙයි.

0 comments:

Post a Comment