Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Showing posts with label ෙබෳද්ධ ලිපි. Show all posts
Showing posts with label ෙබෳද්ධ ලිපි. Show all posts

Saturday, January 25, 2014

2014 නව වසරට සදහම් ඔවදනක්‌...



2014 වර්ෂයේ පළමු මාසයේ අවසන් දවස් කිහිපයේ පල කරන මෙම සදහම් ඔවදන.... ව්‍යවහාරික වර්ෂයෙන් එක්‌ වර්ෂයක්‌ ගෙවී නව වර්ෂයක්‌ උදාවෙලා. ඒ කියන්නේ 2014 වර්ෂය උදාවෙලා. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුද්දකින් වයසට ගිහිල්ල. මරණයට ළඟාවෙලා. අපිට මේ වර්ෂයේ උදාව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්‌ මේ දෙස බලන්නේ මේ විදිහේ ලෞකික දෘෂ්ටිකෝණයකින්. තව තවත් කාම සම්පත් ලබන්න. පංචකාමය තුළ ගිලා බසින්න. මමත්වය හුවා දක්‌වාගන්න. ධන කාමයෙන් මත් වෙන්න. බල කාමයෙන් මත්වෙන්න. රූප මදයෙන් මත්වෙන්න. ජනප්‍රියත්වයෙන් මත්වෙන්න. අන් අයට ගිනි ගෙඩි දෙන්න. තමාගේ සුබසිද්ධිය පතාගෙන රට, ජාතිය, ආගම, පාවා දෙන්න. අන් අයට මොන තරම් බාධා වුණත් තමාගේ වැඩේම කර ගන්න. කොතරම් අයුක්‌ති සහගත ලෙස හරි බඩගෝස්‌තරවාදීව, ධන තෘෂ්ණාවෙන් මුදල් හම්බ කරන්න. ඒ කියන්නේ ආධාර්මික විදියට ධනය හම්බ කරන්න. අනිත් අයව යටපත් කරගෙන කෙතරම් නුසුදුසුකම් තියාගෙන හරි තනතුරු නම්බුනාම ලබන්න.

මේ ආකාරයෙන් කටයුතු කිරීම මේ වර්ෂයේදී දිගටම කරගෙන යැම ධර්මානුකූව කොතරම් ගැළපෙනවාද කියල අපි විවරණය කර බැලිය යුතුයි. බැරිවෙලාවත් අපි අධර්මානුකූලව ජීවත්වුණොත් අපි මේ ජීවිතය පරිහානියට පත්කර ගත්තා වෙනවා. පරලොව ජීවිතයත් අනිවාර්යයෙන්ම දුගතිගාමී කරගන්න වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ මුලදීම අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා සැලසුම් කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ අපිට දෙශ්නා කළා පියවර තුනක්‌ ගැන. ඒ තමයි ශීල, සමාධි සහ ප්‍රඥ. ඔබ පසුගිය වසරේ හොඳින් ශීලය ආරක්‌ෂා කළාද යන්න කල්පනා කර බලන්න. බොහෝදුරට පංචශීලවත් රැකගැනීමට ඔබට හැකියාවක්‌ නොලැබෙන්න ඇති. ඔබ පන්සිල් පද පහ ආරක්‌ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. පංචශීලය රැකීය හැමදාම අහන්න ලැබෙන්න යෑයි ඔබට හිතෙන්න පුලුවන්. ඒ වුනත් අපිට ඒකෙන් ලැබෙන ආනිසංශය බැලිය යුතුයි. රහතන් වහන්සේලා සියනමකට දෙන දානයට පිං සිද්දවෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සියනමකට දෙනදානයට ඊට වඩා පිංසිද්ධවෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය ඊටත් වඩා පිංසිද්ධවෙනවා. ඔබ පංචශීලය අරක්‌ෂා කරගත්තොත් මේ වගේ විශා පිනක්‌ ලබාගන්න පුළුවන් වෙනවා.

පොහෝ දිනවලදී නිවාඩු දාල අටසිල් සමාදන් විය යුතුයි. බොහෝ විට අපි කරන්නේ නිවාඩු දිනවල පාඩිදාන එක, විනෝද ගමන් යන එක වැනි දේවල්. ඒ වුණත් කවුද නිවාඩුදාලා සිල සමාදන් වෙන්නෙ. නමුත් අපේ මරණය කොයි මොහොතේ සිදුවෙයිද කියා කාටවත් කියන්න බැහැ. සමහරු පොහෝ දිනයට සිල් සමාදන් වෙන්නෙ හතරහන්දි පණ නැතිව ගියාම. එතෙක්‌ නට නට, ගය ගය, වය වය කාලය ගත කරනවා. සමහරු මැරෙනකම් හතරමායිම් පරිස්‌සම් කරමින් ඉන්නවා. ලෞකික ජීවිත ගතකරද්දී ගේ-දොර, ඉඩ-කඩම් ආදිය අවශ්‍යයි. නමුත් අපි ඒ පසුපසම වැටී සිටියොත් පිනක්‌ කර ගැනීමට තිබෙන අවස්‌ථාව නැතිවෙනවා. ඒ නිසා කොහොම හරි පන්සිල්, අටසිල්, දසසිල් සැබෑ ලෙස ආරක්‌ෂා කිරීම පටන් ගන්න ඕන.

ඊට පසු සමාධිය වැඩීම ආරම්භ කළ යුතුයි. සමාධිය කියන්නේ භාවනා කිරීම. සිත එක අරමුණකට ගෙන ඒමට උත්සාහ කිරීම. ඒ සඳහා අපි හැකි පමණින් පහසු භාවනා ක්‍රම ආරම්භ කරන්න ඕන. එකක්‌ තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම ආනාපානසති භාවනාව. ඒ වගේම ධාතුමනසිකාර භාවනවා. අනිත්‍ය ආයතන භාවනාව. සමහර අය භාවනා කිරීම ගැන පැවැසූ විට භය වෙනවා. ඇතැම් අයට වේලාවක නැති බව කියමින් ලතවෙනවා. නමුත් අපි ඔබ භාවනා අරමුණු ගැන ටික ටික කල්පනා කරන්න ගත්තොත් ඒකෙන් කෙරෙන්නේ භාවනාව සිදුකිරීමයි. එනිසා ඔබ දැනට භාවනා නොකරනවා නම් භාවනා කිරීම ආරම්භ කළ යුතුයි. කාලයක්‌ ගිය විට අපිට භාවනාව ගැඹුරට දියුණු කරන්න ලැබෙනවා. එවිට චිත්ත සමාධිය ඇතිවෙනවා.

මේ සියලු කටයුතුවලින් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රඥව දියුණු කර ගැනීම. ඒ නිසා අපි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. දුක දුක වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. අනාත්මය අනාත්මය වශයෙන් දකින් අයෙක්‌ බවට පත්විය යුතුයි. එවිට අපිට ලෝක යථාර්ථය තේරුම්ගැනීමට හැකියි. ඒ නිසා මේ වර්ෂය තුළ නිවැරැදි දැක්‌මකින් ආධ්‍යාත්මික සුවපත්භාවයකට කටයුතු කළ යුතුයි.

ඒ වගේම අප තුළ සාමාන්‍ය ජීවිතයේදී තිබෙන ඉරිසියාව, කෝධය, මානය, ගැටෙන ගතිය, එකට එක කිරීම, පළිගැනීම අඩු කර යහපත් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. එමෙන්ම මෛත්‍රිය, කරුණාව, පරෝපකාරය, අනුන්ගේ සිත් නොතැලීම, අනුන්ට අවහිර නොකිරීම, සියලු දෙනාට ගරු කිරීම වැනි ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඔබ සියලු දෙනාට මේ වර්ෂය යහපත් ලෙස ගත කරන්න තෙරුවන් බෙලෙන් වාසනාව උදාවේවා.

උපුටා ගැනීම : දිවඉන පත්‍රය

Tuesday, December 31, 2013

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ සෘද්ධියෙන් ද? ගොඩබිමෙන්ද?


මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ අවන්ති රට වේදිස නගරයේ සිටය. උඡ්ජයිනියට නැගෙනහිරින් පිහිටා තිබූ වේදිස නගරය වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෙසෙන් දිස්‌ත්‍රික්‌කයේ බිල්සා නගරය (බේස්‌ නගර්) ලෙස හඳුනාගෙන තිබේ. බෙත්වා හා බේස්‌ යන ගංගා දෙක එක්‌වන ස්‌ථානයේ පිහිටි මෙම භූමිය අද හින්දූන්ගේ පුණ්‍ය තීර්ථයකි. එහෙයින් ලක්‌දිව බුද්ධාගමෙහි මාතෘ භූමිය අවන්තියේ වේදිස නුවර යෑයි කිවහොත් එහි කිසිදු වරදක්‌ නො මැත.

පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වූ මිහිඳු මාහිමියන් හය මසක්‌ තිස්‌සේ දක්‍ෂිණගිරියෙහි සැරිසරමින් ඥතීන්ට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කළ බව සඳහන් වේ. එතනින් වේදිස නුරවට වැඩමවා මව්තුමියට දහම් දෙසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටුවනු ලැබූ බවත්, වේදිසගිරි විහාරයෙහි මාසයක පමණ කාලයක්‌ වැඩසිටි බවත් සඳහන් ය. උන්වහන්සේ ලක්‌දිවට වැඩම කළේ අශෝක රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 18 වැන්නෙහිය යෑයි බොහෝ වංසකථාවල සඳහන් වෙතත්, බෝධිවංශයෙහි දැක්‌වෙන්නේ අභිෂේකයෙන් හත් මසකින් එය සිදු වූ බවයි. මෙම ගමන බු. ව. 236 වැන්නෙහි එනම් ලක්‌දිව තිස්‌ස රජු අභිෂේකය ලබා තුන් මසකට පසු සිදුවූ බව දීපවංසයෙහි සඳහන් ය. ලක්‌දිව රජ කළ මුටසිව රජු මහලු බැවින් තිස්‌සයන් රජ වන තුරු මෙසේ හත් මසක්‌ කල්යල් බලා ඇති බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන කරුණු දක්‌වන සියලුම පුරාතන මූලාශ්‍රයන් උන්වහන්සේ ඇතුළු පිරිස සෘද්ධි බලයෙන් අහසින් ම වැඩි බව කියා තිබේ. එහෙත් ඉතිහාසඳයෝ සාමාන්‍යයෙන් විය යුතු පරිදි උන්වහන්සේ ඇතුළු පිරිස එකල ලංකාව දක්‌වා වැටී තිබූ මාර්ගයන්ගෙන් එකක ගමන් කරමින් මෙහි වැඩම කළේ යෑයි කීමට වඩා කැමැත්තක්‌ දක්‌වති. අතිමානුෂික බලයක්‌ පිළිගැනීම නො ව ඉතිහාසඥයෙකුගේ කාර්ය වනුයේ සාමාන්‍ය ස්‌වභාවික හේතු අනුව යමක්‌ විස්‌තර කිරීමයි. ඉතිහාසඥයන් පවසන පරිදි එකල උත්තර භාරතයේ සිට ලංකාවට පැමිණි හැකි මාර්ග තුනක්‌ තිබිණි.

1. උඡ්ජයිනී සිට දකුණු දෙස මහිස්‌මතියට පැමිණ, ඉන් දකුණට ගමන් කොට නර්මදා හා තප්තී ගංඟාවන්ගෙන් එතෙර ව ගෝධාවරී නදී තීරයෙහි ප්‍රතිෂ්ඨානයට පැමිණිය හැකිය. එමස ගෝධාවරී මුවදොරින් නැව් නැඟ මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන.

2. උඡ්ජයිනි සිට මහිස මණ්‌ඩලය හෙවත් මයිසෝරය හරහා කාවේරි ගඟබඩ ට පැමිණ. ඒ ඔස්‌සේ ගොඩබිම් මාර්ගයෙන් පාණ්‌ඩපයට පහළින් වූ තම්බපණ්‌නියට පැමිණීමට පුළුවන. එතනින් නැව් නැඟ මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන.

3. උතුරු ඉන්දියාවේ සිට සෘජුවම මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන. මගධයේ චම්පා නුවර හරහා ගංඟා නදී මුවදොර පිහිටි තාම්ප්‍රලිප්ත වරායෙන් නැව් නැඟ මෙසේ පැමිණීමට පුළුවන්කම තිබිණි. අශෝක යුගයේ වඩාත් ජනප්‍රිය ව තිබුණේ මෙම මාර්ගයයි.

ලංකාවේ වංසකථා ගැන කෘතියක්‌ රචනා කළ මහාචාර්ය බී. සී. ලෝ මෙම මාර්ගයන්ගෙන් දෙවැනි මාර්ගය ඔස්‌සේ මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවන්න ඇතැයි සඳහන් කරයි. ලංකාවේ උගතුන් බොහෝ දෙනෙක්‌ ද මිහිඳු මාහිමියන් ගොඩබිම හරහා වැඩම කළේය යෑයිද, පාටලී පුත්‍රයෙන් පිටත්වීමේ සිට ලංකාවට පැමිණීමට හත්මසක කාලයක්‌ ගත වූයේ මේ නිසා බවද පෙන්වා දෙති. මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ උඡ්ජයිනීට නිරතදිගින් පිහිටි භාරුකච්ඡයට පැමිණ එතනින් ලංකාව බලා නැව් නගින්නට ඇති බවයි.

අශෝක යුගය පිළිබඳ අද්විතීය පර්යේෂණයක්‌ කළ චින්සන්ට්‌ ස්‌මිත් අශෝක සෙවැල්ලිපිවල තම්බපණ්‌නි යනුවෙන් සඳහන් වන්නේ දකුණු ඉන්දියාවේ තිණ්‌නවැලි ප්‍රදේශය බව හඳුනාගෙන තිබේ. ද්‍රවිඩ දේශය වූ පාණ්‌ඩ්‍ය රටේ ලංකාවට ආසන්නව ම පිහිටි දකුණු ප්‍රදේශය ඉතා පුරාණ කාලයේ පටන් තාම්ප්‍රපර් නමින් හැඳින් වූ බව මහාභාරතය වැනි ග්‍රන්ථයන්හි සඳහන් වේ. හත්වන සියවසේ අග භාගයේ දකුණු ඉන්දියාවට පැමිණි හියුං සාං තෙරණුවෝ පඬිරට තිණ්‌නවැලි දිස්‌ත්‍රික්‌කයට යාබද මලයකුට ප්‍රදේශයෙහි සංචාරය කරමින් මිහිදු මාහිමියන් විසින් කළ විහාරයක හා ඒ අසල අශෝක රජු කළ චෛත්‍යයක නටබුන් තමන් දුටු බව වාර්තා කරති. එසේම දකුණු පාණ්‌ඩ්‍යයෙහි බුද්ධාගම පිහිටුවන ලද්දේ මිහිඳු මාහිමියන් විසින්ය. යන ජනප්‍රවාදයක්‌ ද එහි දී තමන්ට දැනගන්න ලැබුණු බව උන්වහන්සේ සිය භ්‍රමණවෘතාන්තයෙහි සඳහන් කරති.

මිහිඳු මාහිමියන් දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයෙහි යෙදෙමින් කාවේරපට්‌ට නම් නගරයෙහි නැවතී සිටියේ යෑයිද, ඉන්ද්‍රවිහාර නමින් සිල්පදිකාරම් හා මණිමේකලෛ යන දෙමළ කාව්‍යයන්හි හඳහනන් වන්නේ මෙසේ උන්වන්සේ නැවතී සිටි විහාර යෑයි හිස්‌සැල්ලේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. මහේන්ද්‍රගිරි නමින් දකුණු ඉන්දියාවේ පිහිටි කඳුවැටි මිහිඳු මාහිමියන්ගේ නම හා සම්බන්ධ කොට ඇතැම් ලේඛකයන් හඳුන්වා දී ඇත. කෙසේ වුවද සම්පූර්ණ ගවේෂණයක්‌ නො කරන ලද හෙයින් වර්තමාන විශ්වාසයන්ට ඉඩදීමට සිදුව ඇති මෙවැනි ස්‌ථාන රාශියක්‌ දකුණු ඉන්දියාවේ පිහිටා තිබේ. නැගෙනහිරට සාට්‌ස්‌ කඳු පන්තියේ මදුරාසිය (තංජම් දිස්‌ත්‍රික්‌කය) අසල ශිඛරයක්‌ සහිත කොටසක්‌ මහේන්ද්‍රගිරි නමින් ප්‍රසිද්ධය තවද කොමරින් තුඩුව අසල තිණ්‌නවැලි දිස්‌ත්‍රික්‌කයට මායිම් ව පිහිටි කඳු වැටියක්‌ද මහේන්ද්‍රගිරි නමින් ප්‍රසිද්ධය.

ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාපන කටයුතුවලින් පසුව මිහිඳු මාහිමියන් ලාංකීය රහතන් වහන්සේලා සමඟ දකුණු ඉන්දියාවට චැඩියේ ද යන්න මෙහිලා සැලකිය යුතු යි. මිහිඳු මාහිමියන් ලංකාවේ දී කළ කටයුතු ඉක්‌මනින් අවසන් කළ බව වංසකථා වාර්තාවල සඳහන් වන්නේ උත්තිය රජුගේ අටවෙනි වර්ෂයෙහි පිරිනිවන් පෑ කියන ප්‍රවෘත්තිය පමණි. ඒ අතර කාලය තුළ මිහිඳු මාහිමියන් ගැන වාර්තා කිරීමට තරම් ඓතිහාසික සිදුවීමක්‌ නොවු නේද එසේ වූයේ නම් වංසකථාවල සඳහන් නොවූයේ මන්ද යන ගැටලු විස¹ගත යුතුව ඇත. මේ කාලය තුළ මිහිඳු මාහිමියන් හා ලාංකීය භික්‍ෂූන් දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවූ බවට වැදගත් සාක්‍ෂි කිහිපයක්‌ ම හමුවේ. දකුණු ඉන්දියාවේ තැනින් තැන දක්‌නට ලැබෙන බ්‍රාහ්මී සෙල්ලිපිවලින් ප්‍රබල ලෙස විශද වන කරුණක්‌ නම් ලංකාවේ බුද්ධාගම පිහිට වූ ආසන්න කාලයේම බෞද්ධ භික්‍ෂූන් මෙම ප්‍රදේශවල ද බහුල ව විසූ බවයි. මහින්දාගමනයෙන් වසර විසිපහකින් මෙපිට සිට ක්‍රමයෙන් ලියවුණු බ්‍රාහ්මී සෙල්ලිපි දහස්‌ ගණනක්‌ ලංකාවේ ඇත. ඉහත කී දකුණු ඉන්දියානු බ්‍රාහ්මී ලිපිවල ඇතැම් අක්‍ෂර සංකේතයන් ලංකාවේ ලේඛනයන්හි ආභාෂය ලබා ඇතැයි නිගමනය කොට තිබේ. මේ නිසා දෙරටෙහි ම ලිපි එකම සම්ප්‍රදායකට අයත් පිරිසකගේය යන මතයද ගොඩ නැගී ඇත.දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් ලංකාවේ සතුරන් ලෙස සැළකූ හෙයින් දකුණු ඉන්දියාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ලාංකේය භික්‌සූන් වංසකථාවල සඳහන් නො කළේ යෑයි ස්‌මිත් පවසයි. එහෙත් වංසකථා රචනා කළ යුගයේ එවැනි වාර්තා යමක්‌ ඉතිරි ව තිබුණේ නම් මිහිඳු මාහිමියන්ට

ගෞරවයක්‌ පිණිස පවතින එම සිද්ධීන් සටහන් නො කිරීමට තරම් වංසකථාකරුවෝ සාහසික නොවෙති. මිහින්තලා පව්වේ දි මිහිඳු මාහිමියන් සමඟ පිළිසඳර කථාවෙහි යෙදෙමින් තිස්‌ස රජතුමා ස්‌වාමීනි, ඔබ වහන්සේලා කුමකින් පැමිණියේ දැයි විචාළේය. එවිට මිහිඳු මාහිමියෝ "මහරජ, අපි ගොඩින් හෝ ජලයෙන් (න ථලෙන න චාරිනා) නාවෙමු යි පිළිතුරු දුන් හ. ඒ ඇසූ රජතුමා මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස සෘද්ධි බලයෙන් අහසින් පැමිණියේ යෑයි දැනගත් බව මහාවංසය පවසයි.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන විස්‌තර කරන සියලුම මූලාශ්‍ර උන්වහන්සේලා සෘද්ධි බලයෙන් අහසින් වැඩි බැව් කියයි. එසේ සඳහන් කර ඇත්තේ අතිමානුෂික බලයක්‌ ආරෝපනය කිරීම සඳහා නොවේ. එසේ වූවා නම් සංඝමිත්තා රහත් තෙරණියගේ ලංකා ගමන ද සෘද්ධි බලයෙන් අහසින් සිදු වූවක්‌ බව වාර්තා කරනු ඇත. වංසකථාවල සංඝමිත්තාව නැවෙන් හා ගොඩබිම් මාර්ගයෙන් පැමිණියේ යෑයි කීම මදිකමක්‌ ලෙස එකළ නොසැළකු බව පෙනී යයි. ලංකාවට නොපැමිණි හියුං සාං තෙරණුවෝ ද දකුණු ඉන්දියාවේ මිහිඳු මාහිමියන්ගේ කටයුතු ගැන සඳහන් කරන අතරම, උන්වහන්සේ ලංකාවට අහසින් වැඩියේ යෑයි ලියා ඇත. මෙසේ ලියන්නට ඇත්තේ දකුණු ඉන්දියාවේ පැතිර තිබූ විශ්වාස හා ජනප්‍රවාද අනුව විය යුතුය.

මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ මිහිඳු මාහිමියන් ලංකාවට සෘද්ධියෙන් වැඩියේ ය යන මෙම කරුණ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව ඔප්පු වී තිබීමයි. අම්පාර රජගලතැන්න නම් ප්‍රදේශයෙන් සොයාගත් බ්‍රාහ්මී සෙල්ලිපියක මෙසේ සඳහන් වේ. යෙ ඉමා දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරෙහ තුබෙ මෙම ලිපියේ සරළ අර්ථය මෙසේ යි. යමෙක්‌ මෙම දීපයට පළමු ව සෘද්ධියෙන් ආයේ ද (එම) ඉට්‌ඨිය හා මහින්ද තෙරුන්ගේ ස්‌ථූපය යි මෙම ලිපිය උන්වහන්සේලා අපවත්වීමෙන් ආසන්න කාලයක දී ලියන ලද්දකි. මෙවැනි සිදුවීමකට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලෝකයේ කවර රටක වුවද දුර්ලභ හෙයින් මෙම ශිලා ලේඛනය අතිශයින් වැදගත්ය.

මෙම කරුණු අනුව මිහිඳු මාහිමියක්‌ ලක්‌දිවට වැඩම කළේ සෘද්ධි බලයෙන් අහසින්ය යන්න ස්‌ථීර වන්නේය.

උපුටා ගැනීමකි

Wednesday, September 18, 2013

මංගල සූත්‍රයෙන් හෙළිවන බෞද්ධ ජීවන දර්ශනය


මංගල සූත්‍රය බෞද්ධයන් අතර නිබ`ද සජ්ජායනාවට පාත්‍රවන තුන් සූත්‍රයෙහි ඇතුළත් එක්‌ සූත්‍ර දේශනාවකි. මෙලොව පරලොව හිතසුව පිණිස වන උතුම් ආර්ය මංගල කරුණු තිස්‌ අටකින් සමන්විත මංගල සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. මෙහි ස`දහන් මංගල කරුණු ලොකු කුඩා සෑම බෞද්ධයෙක්‌ම හො`දින් අසා දැන ඇති කරුණුය. එහෙත් මෙම කරුණු ප්‍රායෝගිකව ස්‌වකීය ජීවිතයට එක්‌කර ගත් බෞද්ධයන් අතළොස්‌සක්‌ තරම්වත් නැති තරම්ය. නිබ`ද සජ්ජායනා කළ ද, ශ්‍රවණය කළ ද බෞද්ධ ජීවන දර්ශනය කියාපාන මෙම මංගල සූත්‍රගත කරුණු නිවැරදිව හඳුනාගෙන අවබෝධ කරගත් බෞද්ධයකු සොයා ගැනීම උගහටය.

මංගල සූත්‍රය නිතර ශ්‍රවණයට සජ්ජායනාවට ලක්‌වන බැවින් එහි ස`දහන් මංගල කරුණු බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය ව පවතී. එහෙයින් සූත්‍රගත කරුණු එකිනෙක විමසීමක්‌ මෙහි දී අපේක්‍ෂා නොකරයි. මංගල සූත්‍රයෙහි ස`දහන් කරුණු බෞද්ධයාට සාර්ථක මෙලොව ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය ජීවන දර්ශනයක්‌ වන අතරම එය බෞද්ධයාගේ පරම විමුක්‌තිය වන නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහිලා ද උපයෝගී වෙයි. මෙම ලිපියෙහි අරමුණ සූත්‍රගත කරුණු එසේ ජීවන දර්ශනයක්‌ ලෙසින් යොදාගත හැකි අයුරු අවබෝධ කර දී එම`ගින් උතුම් වූ නිර්වාණාවබෝධය වෙත බෞද්ධයා සමීප කරවීමයි.

බෞද්ධ ජීවන දර්ශනයක්‌ ලෙස සූත්‍රගත කරුණු හඳුනාගැනීමේදී ඒවා මිනිස්‌ ජීවිතයක ප්‍රධාන අවධි හතරක්‌ තුළ හඳුනාගත හැකි වෙයි. ඒවානම්,

1. ළමා අවධිය

2. තරුණ අවධිය

3. වැඩිහිටි අවධිය

4. මහලු අවධිය

ළමා අවධියේ ම සාර්ථක ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීම ගොඩනැ`ගිල්ලක අත්තිවාරම මෙන් පුද්ගලයකුගේ සාර්ථක ජීවිතයකට සවිමත් පදනමක්‌ වෙයි. මේ නිසා සාර්ථක ජීවන දර්ශනයක්‌ ගොඩ න`ගා ගැනීම ආරම්භ කළ යුත්තේ ළමා අවධියෙනි. ළමා අවධිය හා සම්බන්ධව කතා කිරීමේදී සූත්‍රයෙහි පළමු ගාථා ත්‍රිත්වයෙහි අන්තර්ගත කරුණු පුද්ගල ජීවිතයක ළමා අවධිය තුළ ගොඩන`ගා ගත යුතු ජීවන දර්ශනය පෙන්වා දෙයි. එහිදී පළමු ගාථාවෙහි දක්‌නට ඇති බාලයන් ඇසුරු නොකිsරීම, පණ්‌ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, යන කරුණු තුන සම්බන්ධයෙන් වැඩි වගකීමක්‌ දෙමාපියන්ට පැවරෙයි. හොදම දේ දරුවාට යන්න තේමා කරගත් වත්මන් සමාජයේ දරුවාට දිය යුතු හොදම දෙය නම් මෙකී කාරණා බව මෙහිදී සිහිපත් කළ යුතු වෙයි.

ඒ අනුව කුඩා දරුවන් තුළ හොද නරක තේරුම් ගැනීමේ හැකියාව ළමා අවධියේම ඇතිකළ යුතුය. එවිට ඔහු හෝ ඇය ලොකුමහත් වුවද හොඳ නරක මනාව තේරුම් ගනිමින් යහපත් දිවියක්‌ ගත කරයි. බාලයන් ඇසුරු නොකොට පණ්‌ඩිතයන් ඇසුරු කිරීම යනු එයයි. පිදිය යුත්තන් පිදීම බෞද්ධ ජීවන දර්ශනයේ වැදගත් අංගයක්‌ වන අතරම එය පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනයෙහි ද බලපාන බව බෞද්ධ මතයයි. එබැවින් මෙකරුණ ද බෞද්ධ දෙමාපියන් විසින් දරුවකුට ළමා කාලයේදීම ලබා දිය යුතු දැනුමකි. අවබෝධයකි.

සුදුසු පෙදෙසක විසීම, පෙර පින් කර ඇති බව මෙන්ම ආත්මය නිසිලෙස පිහිටුවා ගැනීම දරුවකුට උපතින්ම හිමිවන ජන්මීය මෙන්ම කර්මානුරූපී ද කරුණු වේ. එසේ වී නමුත් යහපත් ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීමේදී ළමා අවධිය තුළ මෙකී කාරණා අතිශය වැදගත් වේ. පන්සිය පනස්‌ ජාතකයේ එන සත්තිගුබ්බ ජාතකයේ ගිරා පැටවුන් දෙදෙනාගේ කතාව කියාපානුයේ සුදුසු පෙදෙසක විසීමේ වැදගත්කමයි. පෙර පින් කර ඇති දරුවකු මේ ආත්ම භවයේදී අයහපත් විපත් ගෙන නොදෙයි. එය සාර්ථක ජීවිතයකට Rජුවම උපකාරී කරයි. මැනවින් පිහිටුවා ගත් ආත්මයක්‌ සහිත පුද්ගලයකු ලෙස දරුවා සමාජගත කිරීමේ වගකීම පවුල වෙත පැවරෙන අතර එය ඒ දරුවාගේ ජීවන දර්ශනය ගොඩන`ගා ගැනීමෙහිලා දායක වෙයි.

බහුශ්‍රැත බව, ශිල්ප ඥානය, විනය, මනා ශික්‍ෂණය, සුභාෂිත වදන් කතා කිරීම දරුවකු ක්‍රමයෙන් වැඩෙන විට තමා තුළ ගොඩනගා ගත යුතු කරුණුය. පෙර කී දෙමාපියන් සතු වගකීම් මැනවින් ඉටුවන්නේ නම් මෙම කරුණු තම ජීවිතයට එක්‌ කර ගැනීමට දරුවකුට අපහසු නොවනු ඇත. මෙසේ ඇතිකරගන්නා ගතිගුණ හා හැකියාවන් තරුණ ජීවිතයට පා තැබීමට නිවැරදි මෙන්ම සාර්ථක අත්වැලක්‌ සපයයි.

සූත්‍ර දේශනාවෙහි මීළ`ග ගාථා ත්‍රිත්වය තරුණ අවධිය හා සම්බන්ධ වෙයි. ඒ අනුව මව්පිය උපස්‌ථානය, අඹුදරුවන් පෝෂණය කිරීම, නිරවුල් කර්මාන්තයන් හී නියෑලීම තරුණ අවධිය හා සම්බන්ධ මුල් කරුණු තුනයි. දරුවකු තරුණ වන විට දෙමව්පියන් වයසට යයි. එවිට තම දෙමාපියන් රැකබලා ගැනීම දරුවෙකුගේ යුතුකමක්‌ වන අතරම එය ජීවන දර්ශනයට එක්‌ කර ගැනීමෙන් දෙලොවටම සෙත සැලසෙයි. තරුණ වයසට පත්ව විවාහ දිවියට එළඹීමත් සම`ග අඹුදරුවන් පෝෂණය කිරීම වගකීමක්‌ බවට පත් වේ. ඒ ස`දහා අධාර්මික කර්මාන්ත නොකොට ධාර්මිකව මිල මුදල් උපයා අඹුදරුවන් පෝෂණය කිරීම බෞද්ධ ජීවන දර්ශනයේ ඉගැන්වීමයි.

එමෙන්ම දන්දීම, දැහැමිව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, හැමවිටම නිවැරදි ක්‍රියාවල නියෑලීම යන ක්‍රියා තුළින් තරුණ දෙමාපියන් විසින් තම දරුවන්ට ආදර්ශයක්‌ වන පරිදි ක්‍රියා කළ යුතු වෙයි. බෞද්ධ ජීවන දර්ශනයෙහි තරුණ අවධිය ස`දහා මීළ`ගට හ`දුන්වා දී ඇත්තේ එම කරුණු හතරයි.

පාපයෙන් වෙන්වී මත්පැනින් වෙන් වී මනා සංයමයකින් යුතුව අප්‍රමාදීව ධර්මයෙහි නියෑලෙමින් තරුණ වියෙන් වැඩිහිටි වියට එළඹීම සාර්ථක බෞද්ධ ජීවන දර්ශනයක ප්‍රතිපදාව වේ. තරුණ අවධියේ ජීවන දර්ශනය සකස්‌ කර ගැනීම උදෙසා අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ එම කරුණු කිහිපයයි.

මැදිවියට එසේත් නැතිනම් වැඩිහිටි වියට පා තබන පුද්ගලයා පරිණත පුද්ගලයෙක්‌ බවට පත් වේ. සූත්‍රයේ මීළ`ග ගාථාද්වය පුද්ගලයකුගේ මැදිවිය හා සම්බන්ධය. ගෞරව සම්ප්‍රයුක්‌තවීම, විනීතවීම, ලද දෙයින් සතුටුවීම, කළ දේ දැන සිටීම, ඉවසීම, සුවච බව, ශ්‍රමණයන් දැකීම, ධර්මය ශ්‍රවණය කිරීම හා ධර්මය සාකච්ඡා කිරීම යන ගති පැවතුම්වලින් යුක්‌ත වීම මැදිවියේ බෞද්ධ ජීවන දර්ශනයේ අනිවාර්ය අංගයන් වේ.

මැදිවියට එළඹි අයකු ගෞරවය ලැබීමට සුදුසු පරිදි හැසිරීම වැදගත් වේ. ඒ ස`දහා විනීතබව අත්‍යවශ්‍ය වේ. එසේම ආශාවන් පසුපස හඹා නොයා ලද දෙයින් සතුටුවීම ජීවිතයේ අංගයක්‌ කරගත යුතුය. සෑම කටයුත්තක්‌ම සිහි නුවණින් සිදුකරමින් තමන් සිදුකළ දේ පිළිබ`ද හො`ද අවබෝධයකින් කල් ගෙවිය යුතු වේ. එම`ගින් පසුතැවෙන දේ සිදුකිරීමෙන් වැළකිය හැකිය.

තරුණ විය නිස`ගයෙන්ම ආවේගශීලීය. එහෙත් මැදිවියට එළඹෙත්ම ඉවසීම ජීවිතයට හුරු කළ යුතු වේ. සුවච බව ද එසේමය. මැදිවිය වනවිට ජීවිතය පිළිබ`ද මනා අවබෝධයක්‌ ලැබෙන බැවින් එය ධාර්මිකව අවබෝධ කර ගැනීම ස`දහා ශ්‍රමණ භික්‍ෂූන් වහන්සේලා මුණ ගැසීමත් ධර්මය ශ්‍රවණය කිරීම හා සාකච්ඡා කිsරීමත් කළ යුතු වේ. එවිට ජීවිතය පිළිබ`ද ධාර්මික අවබෝධයක්‌ ලැබෙන අතර එම අවබෝධයත් සම`ගින් සතුටින් මහලුවියට මුහුණදිය හැකි වේ.

මහලු විය බෞද්ධ ජීවන දර්ශනයේ අවසාන අංගයයි. සූත්‍ර දේශනවේ අවසන් ගාථාද්වය මෙම අවධිය හා සම්බන්ධය. ඒ අනුව ජීවිතය පිළිබ`ද මැදිවියේදී ලැබූ ධාර්මික අවබෝධය නිසා මහලු වියේදී අටලෝදහමින් කම්පා නොවේ. එසේම සිතෙහි ශෝකී බවක්‌ නැත. සිත ඇලීම්වලින් නිදහස්‌ය. එනිසාම සිත තුළ ජීවිතය පිළිබ`ද බියක්‌ නොවේ. එනම් අටලෝදහමින් කම්පා නොවීම, ශෝක නැතිබව, විරජ බව, ක්‍ෂේම බව යන ගුණාංග මහලුවිය තුළ ජීවන ප්‍රතිපදාවට එක්‌වේ.

එසේම බඹසරින් වෙන්වී බ්‍රහ්මචර්යාවෙහි නියෑලෙමින් ආර්ය සත්‍යය දැක අවබෝධයෙන් සියලු කෙලෙස්‌ නසා නිර්වාණය සාක්‍ෂාත් කිරීම මහලුවිය හා සම්බන්ධ අවසන් අංගයන් වේ. පෙරකී සියලු කරුණු සාර්ථකව ජීවිතයකට එක්‌කරගත් පුද්ගලයකුට මෙය අපහසු නොවේ.

මේ අනුව ලෞකික ජීවිතයක්‌ කෙසේ හැඩගසා ගත යුතුද යන්න පෙන්වා දෙන මංගල සූත්‍රගත කරුණු බෞද්ධ ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීමෙහිලා වැදගත් වන බව පැහැදිලිය. මෙහිදී නිර්වාණය සාක්‍ෂාත් කළ හැක්‌කේ මේ ආකාරයෙන් පමණක්‌ යෑයි ද ළමා, තරුණ, වැඩිහිටි අයට නිර්වාණය සාක්‍ෂාත් කළ නොහැකි යෑයිද යනුවෙන් වැරදි අවබෝධයකට එළඹිය යුතු නොවේ. මෙහි දී පෙන්වා දෙනු ලැබුවේ දෙලොව දියුණුවට උපකාරී වන මංගල කරුණු බෞද්ධ ජීවන දර්ශනය ලෙසින් යොදා ගැනීමේ වැදගත්කම හා හැකියාවයි. එම නිසා මෙලොව ජීවිතය සාර්ථක කර ගනිමින් නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීම යන ලෞකික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ජීවිතය සංවර්ධනය කර ගැනීම උදෙසා ජීවන ප්‍රතිපදාවක්‌ බෞද්ධ අපි නිතර අසා දැන ඇති මංගල සූත්‍ර දේශනාව ඇසුරින් ගොඩනංවා ගැනීමෙන් එය අප ජීවිතයට එක්‌ කර ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

මෙලොව සාර්ථක ලෞකික ජීවිතයක්‌ ගත කරන්නකුට නිර්වාණය සාක්‍ෂාත් කළ නොහැකි යෑයි බුදුදහම කිසිසේත් පෙන්වා දී නැත. බුදුදහම දෙලොව දියුණුව සලසන ප්‍රතිපදාවක්‌ වන්නේ එහෙයිනි. මෙහි දැක්‌වූ මංගල සූත්‍රගත ප්‍රතිපදාව ද කියාපානුයේ බුදුදහමේ ඇති එම විශිෂ්ටත්වයයි. එබැවින් ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගත කිරීමට මෙලොව ජීවිතයේ සියලු කටයුතු අවසන්ව මහලු වියට එළඹෙන තෙක්‌ බලා සිටිය යුතු නොවේ. වත්මන් බෞද්ධයන් බොහෝමයකට සිදුව ඇත්තේ එයයි. එවිට ප්‍රමාද වැඩිය. ඒ තුළ මෙහි දැක්‌වූ ගුණාංග ඇති නොවේ. මේ නිසා බෞද්ධ ජීවන දර්ශනය ඇරඹිය යුත්තේ උපතේ සිටය. කුඩා අවධියේ ඒ ස`දහා දෙමාපිය වැඩිහිටියන් උපදෙස්‌ ආදර්ශ ලබාදිය යුතුය. දැනුමින් මුහුකුරා යාමත් සම`ග අනුක්‍රමයෙන් මෙහි දැක්‌වූ කරුණු එකිනෙක සම්පූර්ණ කර ගනිමින් මෙලොව ජීවිතය සාර්ථක කර ගනිමින් නිර්වාණාවබෝධය ලැබීමට මෙම ජීවන දර්ශනය අනුගමනය කරමු.


රංග බුද්ධික කංකානන්ගේ

උපුටා ගැනීම බුදු සරණ පත්‍රය 
 

Thursday, August 1, 2013

ජයෙන් ජය ලබන්නට සිරි සම්බෝධි පිරිත



එකල අපේ සිරිලක රජකළ දේවානම් පියතිස්‌ස රාජ්‍ය සමයේ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස සිරිලකට සම්ප්‍රාප්ත වූයේ පෙසොන් පුර පසළොස්‌වක්‌ පෝ දිනකය. එකල දඹදිව රාජ්‍ය කළ අශෝකාධිරාජයාණන් හා දෙවන පෑතිස්‌ රජතුමන් අතර පැවැති දිගුකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් අති අතුම් ශ්‍රී සද්ධර්මය සිරිලක්‌වාසී අපට ප්‍රදානය කිරීමේ කාර්යය අතිශයින්ම ඓතිහාසිකය. ශ්‍රේෂ්ඨය, සදානුස්‌මරණීයය, ආද ර්ශවත්ය. මෙය මිත්‍ර සබඳතාවේ සදහම් සංකේතයයි.

තම පුත්‍ර මහේන්ද්‍රයන් පැදි කර තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ හා සාමනේර භික්‍ෂූන් වහන්සේ කෙනකු හා උපාසකයකු ඇතුළු පිරිසක්‌ ලංකාවට ඒවා බුද්ධ, ධම්ම යන දෙරත්නයට අමතරව එතෙක්‌ අප සතුව නොතිබුණු සංඝරත්නය අපට උරුම කර දුන්හ. ඊට පසු සිරිලක උපන් මෙහිම හැදී වැඩුණු කුල කුමරුන් පුබුදු කරවා සසුනට ඇතුළත් කොට ඔවුන්ගේ මාර්ගයෙන් බුදු සසුන දීප ව්‍යාප්ත කිරීමටත් ඒ අයුරින් දේශීය සංස්‌කෘතිය නව මඟකට යොමු කිරීමටත් ආර්ථික, දේශපාලන සමාජ විපර්යාසයක්‌ සිදු කිරීමටත් අවස්‌ථාව එළඹුණි. එයින් සෑම සිතුවිල්ලක්‌, ක්‍රියාදාමයක්‌ නිර්මාණයන් තුළට බෞද්ධකම නිරතුරුවම සංකලනයවී ඒ රටාව එදා සිට අද දක්‌වාම සිරිලක දස දෙස දර්ශනය වේ.

මෙම මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩමවා බුදුසසුන පිහිටුවා අපේ සිsරි ලංකා පුරය පහන් කළ පොසොන් පසළොස්‌වක පෝය දිනය මෙදින බෝධි පූජාවන් පැවැත්වීම එදා සිටම අද දක්‌වා බෞද්ධ අපට හුරු පුරුදු දෙයක්‌ වන අතර අන් ආගමිකයන්ද දැඩි උනන්දුවකින් කරන්නේ බුදුන් වහන්සේ අනුදැන වදාළ නිසාය. එබැවින් බෝධි පූජාව හොඳම ශාන්තිකර්මයක්‌ ලෙසද හැඳින්වේ. ධර්මයෙහි පිහිටා දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කිරීම බෝධි පූජාවක මූලික පරමාර්ථය වේ. මේ නිසා බෝධි වෘක්‍ෂයට කරනු ලබන පූජාව බෝධි පූජාව වේ.

තවද බෝධිය යනු ඒ සර්වඥතාඥනය වන අතර එය ලබා ගැනීමට පිටදුන් වෘක්‍ෂය බෝධිවෘක්‍ෂයද වේ. සියලු බුදුවරුන් යම්කිසි වෘක්‍ෂයක්‌ යටදී මේ සර්වඥතාඥනය ලබාගෙන තිබේ. බුදුවරයකු ලෝ පහළවුණු විගසම එම වෘක්‍ෂයේ බෝධි මණ්‌ඩලයට අයත් ස්‌ථානයේ එදිනම පහළ වේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේට අයත් ඇසතු බෝධියට පූජාවක්‌ පවත්වන අතර නියම බෝධි වෘක්‍ෂය අනුරාධපුර ශ්‍රී මහා බෝධියයි.

වංශකතාවල දැක්‌වෙන පරිදි ශ්‍රී මහා බෝධිය රෝපණය කර දින පහකින් අතු පසක්‌ පැන නැගී ඵලපහක්‌ පැන නැගුණු බව ප්‍රකාශිතයි. ඒ පලගත් ගෙඩි පහෙන් ගෙඩි අට බැගින් පැළ හතළිහක්‌ බලා සිටියදීම පැන නැගුණු බවද වැඩිදුරටත් සඳහන් වේ. මේ පැළ හතළිහම රජතුමා විසින් දඹුලුතොට, ථූපාරාමය, කතරගම, මහියංගනය, මුතියංගනය, පැපිලියාන, බෙල්ලන්විල ආදී ස්‌ථාන හතළිහක රෝපණය කරවූ බවද ප්‍රකාශිතයි. මේ ස්‌ථාන හතළිහ වංශ කතා කියවීමෙන් ඔබට දැනගත හැක. එනිසා ඔබ කුමන බෝධියකට හෝ බෝධි පූජාවන් කළත් එය ශ්‍රී මහා බෝධියට කරනු ලබන පූජාවක්‌ යෑයි හිතා පූජාව පැවැත්විය යුතුයි. සමහර ස්‌ථානවල බලවත් දේවතා ගෘහිත බෝධිද ඇත.

මේ නිසා ඔබටත් ඔබේ පවුලේ සැමටත් නව රුවන් පරදවන බුදුරදුන් ගුණ වැයෙන සිරි මහා සම්බෝධි පිරිත් අමිල අමරණීයව ගයන්න. නිවසේ කියවන්න. ඔබටත් පවුලේ සැමටත් ලොව්තුරු පැතුම් ඉටුවේ. තවද මෙම පිරිත අප මහා බෝසතාණන් නියත විවරණ ලැබූ දීපංකර සම්මා සම්බුදු රජුන්ගේ පටන් බුදු වරයන් වහන්සේලා පස්‌විසිනමක පස්‌ මරුන් පරදවා බුදුවූ තේජානු භාවය සත්‍ය ක්‍රියා පදනමක්‌ කොට බැඳුණු මහා බල සම්පන්න තත්ත්වයේ අප්‍රමිත අසීමිත අචිත්තනීය ශක්‌තියෙහි අනූනවූ පිරිතකි. එය මෙසේ නැකත අතිරේකයෙන් ඔබට පොසොන් උදාව නිමිත්තෙන් තිළිණ කරමි.

1. දීපංකරෝ ලෝක විදූ මුලේ පීප්ථලී බෝධියා පංච මාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වඡ්ඡේන හෝතුමේ ජය මංගලං

02. කොණ්‌ඩඤaඤච්හය සම්බුද්ධෝ මුලම්හි සාල බෝධියා පංචමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වඡ්ඡේන හෝතු මේ ජය මංගලං

03. මංගලච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

04. සුමනච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

05. රේවතච්හය සම්බුද්ධෝ - මුලම්හි නාග බෝධියා

06. සෝභිතච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

07. අනෝමදස්‌සී සුගතෝ මුලේ අඡ්ජුන බෝධියා

08. පදුමෝ නාම සම්බුද්ධෝ මුලම්හි සෝන බෝධියා

09. නාරදොa නාම සම්බුද්ධෝ මුලම්හි සෝන බෝධියා

10. පදුමුත්තරෝ නාම ජිනෝ මුලම්හි සාල බෝධියා

11. සුමේධෝ නාම සම්බුද්ධෝ මුලම්හි නීප බෝධියා

12. සුජාතෝ නාම සම්බුද්ධෝ මුලම්හිවේලු බෝධියා

13. පියදස්‌සී නාම බුධෝ මුලේ කකුධ බෝධියා

14. අත්ථ දස්‌සී නාම ජිනෝ මුලේ චම්පක බෝධියා

15. ධම්ම දස්‌සී නාම ජිනෝ මුලේ කුරවක බෝධියා

16. සිද්ධත්ථො නාම ජිනෝ මුලේ කණිකාර බෝධියා

17. තිස්‌ස නාමෝ ලෝක ගරු මුලේ අසන බෝධියා

18. ථුස්‌සනාමෝ ලෝක විදූ මුලේ අමලක බෝධියා

19. විපස්‌සී නාම සුගතෝ මුලේ පාඨලී බෝධියා

20. සිනාමෝ ලෝක නාථෝ මුලේ සේතම්බ බෝධියා

21. වෙස්‌සභූ නාම සුගතෝ මුලම්හි සාල බොඩියා

22. කකුසන්දෝ ලෝක විදූ මුලේ සිරිස බෝධියා

23. කෝණාගමනෝ සුගතෝ මුලේ යඤ්ඤාංග බෝධියා

24. කස්‌සපෝ නාම සබ්බඤ්ඤා මුලේ නිග්‍රෝධ බෝධියා

25. ගෝතමෝ නාම සබ්බඤ්ඤා මුලේ අස්‌සත්ථි බෝධියා

පංච මාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධි මුත්තමං

එතෙන සච්ච වඡ්ඡේන - හෝතුමේ ජය මංගලම්

මේ පිරිත රෝගියකුට කියා ශාන්තිය සලසන්න නම් එතෙන සච්ච වඡ්ඡේන - සබ්බ රෝගෝ විනස්‌සන්තු කියාද පොදුවේ කියන විට "සොත්ථිතේ හොතු සබ්බදා" කියාද යොදා මේ ගාථා විසිපහම සඡ්ජායනා කරන්න. ඔබට බෝධිරාජසෙත සැලසේ.

අති භයානක බලවත් අමනුෂ්‍ය දෝෂයන් දුරුවීමට, කෘර සතුරු උපද්‍රව මගහරවා ගැනීමට, කිසිම තැනකදී පරාජය නොවන්ට, ගිය ගිය තැන අග්‍ර ජය ලබා ගැනීමට, දේව ආරක්‍ෂාව ලබාගැනීමට, නිවසේ, භූමියේ ව්‍යාපාරික ස්‌ථානයේ ඇති කොඩි වින කැපී පුපුරා භංගවෙන්ට, අංගම්, පිල්ලි, ඇස්‌වහ, කටවහ හෝ වහ දුරුවීමට, නිවසේ භූමියේ මළගිය ප්‍රේත දිෂ්ඨි හා විවිධ භූත බල පෑම් පලවා හැරීමට ඉතාම යෝග්‍ය බවත්, මෙම පිරිත තඹ පතක ලියා රන්තැඹිලි තෙල් තබා මේ පිරිතෙන් දාස්‌වරක්‌ ජපකර කර පැළඳීමෙන්ද නිවසේ රාමුකර තැබීමෙන්ද ඔබේ සියලු කාරණා සියල්ලටම අති ශ්‍රේෂ්ඨ පිරිතක්‌ බව සැලයි. සත්‍යයි.

බුදුදහම හා ධනාත්මක චින්තනය


ශාස්‌ත්‍රපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංස හිමි

ධනාත්මක චින්තනය පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක්‌ යොමුකරඇති බව පෙනේ. මීට දෙදහස්‌ පන්සිය වසරකට පෙර ලොව පහළවූ බුදුරජාණන් වහන්සේද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.

බුදුවීමට දස පෙරුම් දම් පිරූ බෝසතාණෝ ඒ මගින් ධනාත්මක ආකල්ප අනුව ක්‍රියාකළ සේක. උන්වහන්සේ පිරූ විර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව තුළින් ධනාත්මක චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදුවූ ආත්මයේ ඉපදුණු විගස ප්‍රකාශ කළ 'අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස්‌ යනාදී උදාන වාක්‍යය, සත් පියුම් මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර පැවිදි වීම, සත්‍ය සොයා යාම, අවුරුදු සයක්‌ දුෂ්කර ක්‍රියා කරමින් කළ උත්සාහය ආදී අවස්‌ථා විශේෂිත අවස්‌ථාවන් වේ.

තම අරමුණු ඉටු කර ගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදුවීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්‌ථාවකි.

1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4. සිරුරේ මස්‌ ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

මෙලෙස ඇතිකරගත් අධිෂ්ටානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක්‌ ලබාගැනීමට උන්වහන්සේ සමත්වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කර ගැනීමට බෝ සතුන්ට හැකිවූවා සේ ඕනෑම පුද්ගලයකු නොසැලෙන සිතින් සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක්‌ නොමැත.

යම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී 'මට පුලුවන්, මම ප්‍රතිඵල ලබාගන්නවා, මම දිනනවා' යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක්‌ ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක්‌ ඇතිකරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත නොහැකි ය. 'නැහැ බැහැ' ආදී සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක්‌ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්‌වරූපයයි. එසේ සිතන කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය නොහැකිය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. 'මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක්‌ ලැබේවි' මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යැමට නොහැකිය. සමාජයේ දියුණුව කරා පිය නගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.

'නාචින්තයන්තෝ පුරිසෝ විසේසි මධිගච්ඡති'

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක්‌ පමණක්‌ නොව පසුතැවීමට පවා හේතු වෙයි. සෑම මිනිසකු තුළ ම නිර්මාණශීලී දක්‌ෂතා පවතී. ඒවා ඉස්‌මතු කරගත හැක්‌කේ උත්සාහය හා චිත්ත ශක්‌තිය මගිනි. සිතේ ඇතිවන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස්‌ පරිහානිය කරාම යති.

පුද්ගල අපේක්‌ෂා සාර්ථක කර ගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතුවිලි කෙසේ සකස්‌විය යුතුද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වාදී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමු 'අත්ථ කුසල' පුද්ගලයකු විය යුතුය. අත්ථ යනු අරමුණයි. කුසල යනු දක්‌ෂතාවයි. තම අරමුණ ඉටුකර ගැනීමට තමා දක්‌ක්‍ෂයකු වීම මෙහිදී අදහස්‌ කෙරෙයි. අරමුණු සාර්ථක කර ගැනීමේදී තමා විසින් ඇතිකරගත යුතු දක්‌ෂතා පහළොවක්‌ පිළිබඳ කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු පහළොව අතර 'සක්‌කෝ' යන පළමු ගුණය සුවිශේෂ වේ. පොතපත කියවීමෙන්, ලියවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණුq කරගන්නා විට දක්‌ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‌ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යැම නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම පරාජිතයෙක්‌ වෙයි.

කුසල් හෙවත් දක්‌ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවැතීම ලෝක ස්‌වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥව යන කුසල සිතුවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. බුදුදහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක්‌ නොකෙරේ. බුදුරදුන් දිනක්‌ බමුණකු අමතා, 'බමුණ, ඔබ කැමැති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට නොඑන්න' යනුවෙන් දේශනාකොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදුදහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරුයි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කරදෙන ලද්දේ දියුණුව කරා පියනැගීමට නම් පුද්ගල චිත්ත ශක්‌තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක්‌ කිරීමේදී,

1. ආරම්භ ධාතු (යමක්‌ ආරම්භකිරීමට)

2. නික්‌ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)

3. පරක්‌කම ධාතු (බාධා මැඩගෙන යාමට)

4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)

5. ඨිති ධාතු (ස්‌ථාවරව සිටීමට)

6. උපක්‌ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)

උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක්‌ ඉදිරියට කරගෙන යැමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකිය. තම ශක්‌තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇතිකර ගත යුතුය. තම හැකියාව තමා විසින්ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් පමණක්‌ ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය. කුසීතකමින්, පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනගාගත හැකිය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකිය.

තමන් යම් ක්‍රියාවක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇතිවිය හැකිය. බාධා ඇතිවූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නොවේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කර ගත යුතුය. ඇතැමුන් තමන්ට ඇති ශක්‌තිය හඳුනාගෙන නැත. වෙනත් අයකු දෙන උපදෙස්‌ හෝ පිළිගෙන උනන්දුවඇතිකර නොගනියි. එබඳු තැනැත්තාට දියුණුවිය නොහැකිය. සෑම ජයග්‍රහණයකටම මාවතක්‌ ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතුය. එහෙත් අනුන් දෙන උපදෙස්‌ තමන්ට ගැළපේදැයි සිතා බැලීම කළ යුතුය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්‌වකීය ශක්‌තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.

එදා බුදුරදුන් ස්‌වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවටම ශේ්‍රෂ්ඨ නායකයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි - පැවිදි දෙපිරිසද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව දෙලොව දියුණුව සලසාගන්න. එම නිසා අප ආගමික ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගෙන ක්‍රියා කිරීම, ඇහුම්කන්දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‌ෂණ හා පරීක්‌ෂණ කිරීම කළ යුතුය. එසේ කිරීමෙන් සෘණාත්මක චින්තනයෙන් මිදී ධනාත්මක චින්තනයක්‌ තුළින් සෑම ක්‍රියාවකම ජයග්‍රහණය උදාකරගත හැකිය.


උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත 

විභාග ජයට බුද්ධ මන්ත්‍රයක්‌




බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්‍ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත් නමකි.

ඥාණය හෙවත් බුද්ධිමත් බව වර්ධනය කර ගැනීමට අපේක්‌ෂා කරන අය ඒ සඳහා බුද්ධ ඥාණයට වන්දනා කිරීම නොවරදින ක්‍රමයකි. බුද්ධ වන්දනාව සඳහා නිවසේ සුදුසු ස්‌ථානයක්‌ පිළියෙල කරගත යුතුය. මේ පිළිබඳව පසුගිය "නැකත" අතිරේකයෙන්ද විස්‌තර කර ඇත. කරුණාකර එයද කියවා බලන්න. ඒ අනුව බද්ධ වන්දනාවට ස්‌ථානයක්‌ සකසා ගන්න.

අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බුද්ධ වන්දනාව උදේ දවස ආරම්භයේම කළ හැකිය. එය වඩාත් සුදුසු වේලාවයි. සවස නින්දට පෙරද කිරීම මැනවි.

පහන් ආලෝක පූජාවෙන් ඥනාලෝකය ලැබේ. ඒ නිසා මල් පහන් සහිත බුද්ධ පූජාවක්‌ කරන්න. පන්සිල් සමාදන් වන්න. තෙරුවන් නමදින්න. ඉන්පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ඥනය ගැන විස්‌තර කෙරෙන පහත සඳහන් පාඨය කියවන්න. මෙම බුද්ධ ඥනය ගැන හැකිනම් ඉගෙන ගන්න.

දුක්‌ඛේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛේ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධෙ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං

අත්ථපටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

නිරුක්‌ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං

ආසයානුසසේ ඥාණං බුද්ධ ඥාණං

යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං

මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං

සබ්බඤ්Cදුත ඥාණං බුද්ධ ඥාණං

අනාවරන ඥාණං බුද්ධ ඥාණං

ඉමේහි බුද්ධ ඥාණේනි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමී.

අනන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඥාණාලෝකය පහළවේවායි අපිද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.


උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත