Saturday, January 25, 2014

2014 නව වසරට සදහම් ඔවදනක්‌...



2014 වර්ෂයේ පළමු මාසයේ අවසන් දවස් කිහිපයේ පල කරන මෙම සදහම් ඔවදන.... ව්‍යවහාරික වර්ෂයෙන් එක්‌ වර්ෂයක්‌ ගෙවී නව වර්ෂයක්‌ උදාවෙලා. ඒ කියන්නේ 2014 වර්ෂය උදාවෙලා. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුද්දකින් වයසට ගිහිල්ල. මරණයට ළඟාවෙලා. අපිට මේ වර්ෂයේ උදාව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්‌ මේ දෙස බලන්නේ මේ විදිහේ ලෞකික දෘෂ්ටිකෝණයකින්. තව තවත් කාම සම්පත් ලබන්න. පංචකාමය තුළ ගිලා බසින්න. මමත්වය හුවා දක්‌වාගන්න. ධන කාමයෙන් මත් වෙන්න. බල කාමයෙන් මත්වෙන්න. රූප මදයෙන් මත්වෙන්න. ජනප්‍රියත්වයෙන් මත්වෙන්න. අන් අයට ගිනි ගෙඩි දෙන්න. තමාගේ සුබසිද්ධිය පතාගෙන රට, ජාතිය, ආගම, පාවා දෙන්න. අන් අයට මොන තරම් බාධා වුණත් තමාගේ වැඩේම කර ගන්න. කොතරම් අයුක්‌ති සහගත ලෙස හරි බඩගෝස්‌තරවාදීව, ධන තෘෂ්ණාවෙන් මුදල් හම්බ කරන්න. ඒ කියන්නේ ආධාර්මික විදියට ධනය හම්බ කරන්න. අනිත් අයව යටපත් කරගෙන කෙතරම් නුසුදුසුකම් තියාගෙන හරි තනතුරු නම්බුනාම ලබන්න.

මේ ආකාරයෙන් කටයුතු කිරීම මේ වර්ෂයේදී දිගටම කරගෙන යැම ධර්මානුකූව කොතරම් ගැළපෙනවාද කියල අපි විවරණය කර බැලිය යුතුයි. බැරිවෙලාවත් අපි අධර්මානුකූලව ජීවත්වුණොත් අපි මේ ජීවිතය පරිහානියට පත්කර ගත්තා වෙනවා. පරලොව ජීවිතයත් අනිවාර්යයෙන්ම දුගතිගාමී කරගන්න වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ මුලදීම අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා සැලසුම් කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ අපිට දෙශ්නා කළා පියවර තුනක්‌ ගැන. ඒ තමයි ශීල, සමාධි සහ ප්‍රඥ. ඔබ පසුගිය වසරේ හොඳින් ශීලය ආරක්‌ෂා කළාද යන්න කල්පනා කර බලන්න. බොහෝදුරට පංචශීලවත් රැකගැනීමට ඔබට හැකියාවක්‌ නොලැබෙන්න ඇති. ඔබ පන්සිල් පද පහ ආරක්‌ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. පංචශීලය රැකීය හැමදාම අහන්න ලැබෙන්න යෑයි ඔබට හිතෙන්න පුලුවන්. ඒ වුනත් අපිට ඒකෙන් ලැබෙන ආනිසංශය බැලිය යුතුයි. රහතන් වහන්සේලා සියනමකට දෙන දානයට පිං සිද්දවෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සියනමකට දෙනදානයට ඊට වඩා පිංසිද්ධවෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය ඊටත් වඩා පිංසිද්ධවෙනවා. ඔබ පංචශීලය අරක්‌ෂා කරගත්තොත් මේ වගේ විශා පිනක්‌ ලබාගන්න පුළුවන් වෙනවා.

පොහෝ දිනවලදී නිවාඩු දාල අටසිල් සමාදන් විය යුතුයි. බොහෝ විට අපි කරන්නේ නිවාඩු දිනවල පාඩිදාන එක, විනෝද ගමන් යන එක වැනි දේවල්. ඒ වුණත් කවුද නිවාඩුදාලා සිල සමාදන් වෙන්නෙ. නමුත් අපේ මරණය කොයි මොහොතේ සිදුවෙයිද කියා කාටවත් කියන්න බැහැ. සමහරු පොහෝ දිනයට සිල් සමාදන් වෙන්නෙ හතරහන්දි පණ නැතිව ගියාම. එතෙක්‌ නට නට, ගය ගය, වය වය කාලය ගත කරනවා. සමහරු මැරෙනකම් හතරමායිම් පරිස්‌සම් කරමින් ඉන්නවා. ලෞකික ජීවිත ගතකරද්දී ගේ-දොර, ඉඩ-කඩම් ආදිය අවශ්‍යයි. නමුත් අපි ඒ පසුපසම වැටී සිටියොත් පිනක්‌ කර ගැනීමට තිබෙන අවස්‌ථාව නැතිවෙනවා. ඒ නිසා කොහොම හරි පන්සිල්, අටසිල්, දසසිල් සැබෑ ලෙස ආරක්‌ෂා කිරීම පටන් ගන්න ඕන.

ඊට පසු සමාධිය වැඩීම ආරම්භ කළ යුතුයි. සමාධිය කියන්නේ භාවනා කිරීම. සිත එක අරමුණකට ගෙන ඒමට උත්සාහ කිරීම. ඒ සඳහා අපි හැකි පමණින් පහසු භාවනා ක්‍රම ආරම්භ කරන්න ඕන. එකක්‌ තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම ආනාපානසති භාවනාව. ඒ වගේම ධාතුමනසිකාර භාවනවා. අනිත්‍ය ආයතන භාවනාව. සමහර අය භාවනා කිරීම ගැන පැවැසූ විට භය වෙනවා. ඇතැම් අයට වේලාවක නැති බව කියමින් ලතවෙනවා. නමුත් අපි ඔබ භාවනා අරමුණු ගැන ටික ටික කල්පනා කරන්න ගත්තොත් ඒකෙන් කෙරෙන්නේ භාවනාව සිදුකිරීමයි. එනිසා ඔබ දැනට භාවනා නොකරනවා නම් භාවනා කිරීම ආරම්භ කළ යුතුයි. කාලයක්‌ ගිය විට අපිට භාවනාව ගැඹුරට දියුණු කරන්න ලැබෙනවා. එවිට චිත්ත සමාධිය ඇතිවෙනවා.

මේ සියලු කටයුතුවලින් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රඥව දියුණු කර ගැනීම. ඒ නිසා අපි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. දුක දුක වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. අනාත්මය අනාත්මය වශයෙන් දකින් අයෙක්‌ බවට පත්විය යුතුයි. එවිට අපිට ලෝක යථාර්ථය තේරුම්ගැනීමට හැකියි. ඒ නිසා මේ වර්ෂය තුළ නිවැරැදි දැක්‌මකින් ආධ්‍යාත්මික සුවපත්භාවයකට කටයුතු කළ යුතුයි.

ඒ වගේම අප තුළ සාමාන්‍ය ජීවිතයේදී තිබෙන ඉරිසියාව, කෝධය, මානය, ගැටෙන ගතිය, එකට එක කිරීම, පළිගැනීම අඩු කර යහපත් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. එමෙන්ම මෛත්‍රිය, කරුණාව, පරෝපකාරය, අනුන්ගේ සිත් නොතැලීම, අනුන්ට අවහිර නොකිරීම, සියලු දෙනාට ගරු කිරීම වැනි ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඔබ සියලු දෙනාට මේ වර්ෂය යහපත් ලෙස ගත කරන්න තෙරුවන් බෙලෙන් වාසනාව උදාවේවා.

උපුටා ගැනීම : දිවඉන පත්‍රය

0 comments:

Post a Comment