Tuesday, October 9, 2012

ඉටු අනිටු ඵල ලබාදෙන යන්ත්‍ර සහ මන්ත්‍ර

ඉටු අනිටු ඵල ලබාදෙන යන්ත්‍ර සහ මන්ත්‍ර

 මානව ශිෂ්ටාචාරයට කා වැදුණු බොහෝ අභිචාර විදීන්හි මූලයන් වේද යුගයන් දක්‌වා ගමන් කරන පැහැදිලි ලකුණු දක්‌නට ලැබේ. මානව පැවැත්ම හා බැඳුන මෙම සංස්‌කෘතිකමය අංග ප්‍රත්‍යංගයෝ වේද ග්‍රන්ථයන්හි සටහන්ව පවතී. යන්ත්‍ර, මන්ත්‍ර, ආරබාරවීම්, කෙම්, බලි, බිලි, හදි හූනියම්, දොල පිදේනි මේ ආදී වශයෙන් වූ මිනිසා ශාන්තිය පතා අදහන හා සිදුකරනු ලබන අනේක විධ පුද සිරිත්වලට දීර්ඝ කාලීනව පැවත එන ඉතිහාසයක්‌ ඇති බව මින් පෙනේ. මෙයින් වඩාත් තදින් සෑම සමාජ කොට්‌ඨාසයක්‌ විෂයයෙහිම බැඳී පවතින අංගයක්‌ වන්නේ යන්ත්‍ර මන්ත්‍ර දෙකයි.

"යන්ත්‍ර" නම් වූ වේදයට පසු කාලයේ අසන්නට ලැබෙන ග්‍රන්ථ විශේෂයක්‌ වෙයි. මෙම යන්ත්‍ර එවක සුවිශාල විද්‍යාවක්‌ ලෙස පැවතුනකි. ස්‌වභාව ධර්මය හා බැඳුණු දෙවියන් හා සොබා දහම මිනිස්‌ ජීවිතයට අවනත කර ගැනීම මෙම ගුප්ත විද්‍යාවේ අරමුණ වූ බව පෙනේ. මෙහිදී මන්ත්‍ර යනු එම විද්‍යාව සඳහාම භාවිත කරන ලද හා බලවත් සේ යොදන ලද ගණ පිහිටුවන ලද වැකි සමූහයක්‌ විය. මෙම මන්ත්‍ර පිළිබඳ සෘග් වේදයේ විවාහාදී චාරිත්‍රවලදී අසන්නට ලැබේ. මෙකී යන්ත්‍ර, මන්ත්‍ර ජප කිරීමෙන් විශ්මය ජනක බලයක්‌ ගොඩ නගාගෙන ඉන් ජීවිතවලට යම් යම් ඉෂ්ට හා කස්‌ට බලයන් උපදවාගත හැකි යෑයි ද මිනිසා තුළ විශ්වාසයක්‌ අතීතයේ සේම අදත් පවතී.

මෙකී යන්ත්‍ර විද්‍යාව භාවිතයට ගන්නා ආකාර ගැන ද සඳහන් වේ. ඒ අනුව මුළු පහ හත ආදී වශයෙන් සාදනු ලබන කොටු රූප ඇත. ඒවා හඳුන්වන්නේ මණ්‌ඩල වශයෙනි. මෙම කොටුවල පිළිවෙළට අකුරු පිහිටුවා සිදුකරනු ලබන ආරක්‍ෂක උපකරණ "යන්ත්‍ර" නම් වේ. ඒවා අඳිනු ලබන්නේ තඹ කොළවලයි. මෙවැනි යන්ත්‍ර අතීතයෙහි සිට වර්තමානයේ ද මිනිසුන් විසින් සුබ ඵල ලබාගැනීම සඳහා භාවිතයට ගනු ලැබේ. මහායානික බෞද්ධයන් මෙය සකස්‌ කරනු ලබන්නේ "තන්ත්‍ර" විද්‍යාවට අනුවය. ලාංකික බෞද්ධයන් විසින් භාවිත කරනු ලබන ජිනපඤ්ජරය ද තන්ත්‍ර විද්‍යාව අනුව සකස්‌ වූවකි. තන්ත්‍ර විද්‍යාවේ එනුයේ මිනිස්‌ සිරුරේ යම් යම් ස්‌ථාන උදෙසා දෙවි දේවතාවුන්ගේ බලපෑම පිහිටුවීමයි. එයද කොටු පිහිටුවා සකස්‌ කරන්නකි. එම කොටුවල අකුරු නම් කෙරේ. එම අකුරු යොදා පිහිටුවන මණ්‌ඩල "ධාරණී" නම් වේ. එය ආරක්‍ෂක උපකරණ සමඟ යන්ත්‍රයක බහාලනු ලැබේ. තන්ත්‍ර විද්‍යාව අනුව යන්ත්‍ර පිළියෙළ කර ගැනීම අදත් සුලබව පවතී. විශේෂයෙන් බෞද්ධයන් විසින් භාවිතා කරනු ලබන රතන යන්ත්‍රය හා නවගුණ යන්ත්‍රය ඉතා බලගතු හා වඩාත් ප්‍රචලිත යන්ත්‍ර දෙකකි. මේ හැරුණු විට නාගර්ජුන, නවනාථ, නීලමණ්‌ඩල, ආඝෝරය, මහාමෘත්‍යqංජය, ශිලම්බරිය, නාරසිංහය, සංජීවනිය, මහා කාලශනි මෘත්‍යqංජය, ආදිය දෙවියන්ගේ ආශිර්වාදය, ග්‍රහදොස්‌ සමනය, විෂහරණය වැනි දේ සඳහා බහුලව භාවිතයට ගැනේ. මෙම යන්ත්‍ර සේම ඊට විකල්පයන් ලෙසින් භාවිතා කරනු ලබන ආරක්‍ෂක උපකරණද වෙයි. සිංහල සමාජයෙහි කුඩා ළමුන්ගේ කර - ඉණ බඳින පංචායුධය එවැන්නකි. දුනු, මුගුරු අඩයටි, පත්කොහොල් හා පාරාවළලු යන ආයුධ පස මුල්කොට මෙය නිමවා ඇත. ජාතක පොතේ එන පංචායුධ ජාතකය මෙම ආරක්‍ෂණ ආභරණය නිර්මාණයට පසුබිම් වූ බව පෙනේ.

සිංහල සමාජය තුළ යන්ත්‍ර වශයෙන් සලකන තඹ, රිදී, රත්‍රන්, පස්‌ලෝ සුරවල බහා පළඳිනු ලබන යන්ත්‍ර වර්ග ඇත. සතුරන්ගෙන් ආරක්‍ෂාවීම, වෙඩි නොවැදීම, නඩු හබවලින් දිනීම ආදිය පිණිස, "හෙණරාජ තෛලය" සුරවල බහා පළඳිනු ලැබේ. මේවා ඉතා බලසම්පන්න යෑයි අදහනු ලබන අතර බාහුව පලා කුඩා සුර සමඟ යන්ත්‍ර ශරීරගත කිරීමට ද අයෙක්‌ පෙළඹෙති. එසේම මෙම යන්ත්‍ර කිළිවැදීමෙන් බලය අඩුවෙතැයි ද සුර පැළී යතැයි ද විශ්වාස කෙරේ. තවත් මෙවැනි පළඳින අනුසස්‌ අබරණ යන්ත්‍ර ලෙස කොටි දත්, කොටි නිය, අලි කෙඳි, සිංහතෙල් ආදිය භාවිතයට ගැනේ. යක්‍ෂ, ප්‍රේත, පිසාචාදීන්ගෙන් ආරක්‍ෂාවීම පිණිස ද යන්ත්‍ර විශේෂ ලෙස යොදාගන්නා දේවල් ගැමි සමාජය තුළ වෙයි. ග්‍රහ අපල සඳහා කාක නිල්, ගෝමේද, රතු කැට, දිය තරිප්පු අල්ලන ලද මුදු මාල පළඳිති. ලංකාවේ පමණක්‌ නොව විවිධ විදේශ සමාජයන්හි ද මේවා දක්‌නට වේ. යකඩ අමනුෂ්‍ය උපද්‍රව නසන උපකරණයකි. "අඝෝර ජාතකය" යකඩවල ඇති බලවත්කම කියාපාන ජාතක කතාවකි. අමනුෂ්‍යයන් පමණක්‌ නොව සමහර අවර ගණයේ දේවතාවුන් පවා යකඩවලට බිය දක්‌වන බව ජනකතාවලින් හෙළිවේ. බොහෝ ගැමියෝ මස්‌, මාළු, ආහාර, බදිනලද දේ බැහැර ගෙනයන විට යකඩ ඇණයක්‌ හෝ ආවුධයක්‌ ඒ මත තබනු ලබයි. මේ හැරුණුවිට අඟුරු කැබැල්ලක්‌, දෙහි ගෙඩියක්‌, ඇඹුල් අත්තක්‌, කහ කැබැල්ලක්‌, තබාගෙන යැමද සිරිතකි. ප්‍රේතයින් යකඩ ඇණගසා හිරකරන කට්‌ටඩිවරුන් සිටිති. ලංකාවේ ලෝහ සේම භාරතයේ හින්දුන් තෘණවලින් සාදන ලද මුද්දක්‌ ඒ සඳහා යොදාගනී. මේවා මළගමක්‌ සඳහා තුනක්‌ ද, විවාහයකදී දෙකක්‌ ද සෙසු චාරිත්‍රවලදි එක බැගින් ද ගනු ලැබේ. අණ වින පමුණුවන අද්භූත බලවේග එමගින් නසාලිය හැකි යෑයි ඔවුහු අදහති. මෙම තෘණ මුදුව බමුණන් විසින් බැතියෙන් යුතුව යන්ත්‍රයක්‌ සේ රෝග නිවාරණය, භූත බල නැසීම, සෙත සුව පිණිස භාවිතා කරනු ලැබේ.

යන්ත්‍ර ජීවමේදී මන්ත්‍ර්‍ර භාවිතා කෙරේ. එදා මෙන් අද ද බොහෝ ලෙඩට ඖෂධ ප්‍රතිකාරයට පෙර මන්ත්‍රවල පිහිට පතනු පෙනේ. තෙල් මැතිරීම, නූල් බැඳීම ගැමි සමාජයේ සුලබ දෙයකි. වේද යුගයේ ගෘහ්‍ය සුත්‍රවල දැක්‌වෙන ආකාරයට බෙහෙතට වඩා බලවත් වන්නේ මන්ත්‍රයයි. ගම්බදව බොහෝවිට උණක්‌, හිසරදයක්‌ වූ විට තනිකම් දෝෂයක්‌, යක්‍ෂ ප්‍රේත දිෂ්ටියක්‌ සේ සලකා තෙල් මැතිරීම කෙරේ. ඉන් සුව නොලද විට කහ නූල් ද, ඇපනූල් ද බඳිනු ලැබේ. ඇදුරා එය සිදුකරනුයේ යක්‍ෂයකු මුල්කොට දින 5, 7, 15, 21, 30 ආදී ලෙස නියම කරමින් බඳින ඇපනූල තොවිලයෙන් නිම කළ යුතුවේ. යක්‍ෂයින් විෂයයෙහි ගැහැනුන්ට කලුයකා ද, පිරිමින්ට රීරි යකා ද මුල් කොට පිළිවෙත් කෙරේ. කොහොඹ කංකාරිය, මහසෝන් සමයම. රට යකුම, ගරා යකුම, හා බලියාග රැසක්‌ මන්ත්‍ර මුල්කොට සිදු කෙරේ.

ලංකාව් මන්ත්‍ර පිළිබඳ එන සඳහන් අතර කෝට්‌ටේ යුගයෙන් පසු නරේJද්‍රසිංහ රජ සමයේ වඩිග දේශයෙන් පැමිණි මන්ත්‍ර ශාස්‌ත්‍ර හා යාගයන් පිළිබඳ සඳහන් වේ. එසේම බමුණන් හත් දෙනකු සහ 19 දෙනකු පැමිණ කළ යාගයන් ගැන ද 1677 දී ලියෑවුණ වියරු විෂ උත්පත්තිය නම් ලියවිල්ලක දෙවන රාජසිංහ කල ශිව ගු=ප්ත නම් බමුණකු රෝග නිවාරණයට මන්ත්‍ර හා බලියාග යොදාගත් බවට ද තොරතුරු වාර්තා ඇත. මෙරටට මන්ත්‍ර පැමිණියේ දකුණු ඉන්දියාවෙනි. එසේ පැමිණි මන්ත්‍රයක වග විස්‌තර සන්නස්‌ගල මහතා සිය සාහිත්‍ය වංශයෙහි දක්‌වා තිබේ. මන්ත්‍රයක උපත හා එය පරම්පරාගතව ආ අයුරු මෙසේ කියෑවේ.

".......... මේ ජීවම තෙලිඟුපාන සිට ආ සන්නාසියාගේ ඉස්‌ප්‍රාස්‌ බාස්‌කු උන්නැහේ, වරාගන් 120 යි. 30 රියන් මුණ්‌ඩාසන් යයි පට කවනියයි. පුqස්‌ප දෝරුවයි, කලිසන් සැට්‌ටයි, පලවරි කවිච්චියයි දීලා ගත්තාය. ඒ පරම්පරාව ප්‍රයෝජන විඳ ඒ වෙනුවට උපන් මිස්‌ක්‍රෙන්තු සන්නාසියා ගත්තාය...... එයින් ප්‍රයෝජන විඳ 89 පරම්පරාවක්‌ ප්‍රයෝජන විඳ සිටිනා අතර පිරිමි පරම්පරාවේ ගෑනු බින්නට උන් පරම්පරාවක්‌ තිබුණාය. ඉන්පසු තඹ පොතත් අරගෙන අන්දිසේ දේසෙන් වෙළෙඳනැවකට බඩු පටවා ගෙනත් ඇන්න මාතරට ගොඩ බැස්‌සාය." යනුවෙන් මෙරටට මන්ත්‍ර පැමිණි ආකාරය දැක්‌වේ.

මේ ආකාරයෙන් මෙරටට පැමිණි මන්ත්‍ර දහස්‌ ගණනක්‌ තිබේ. ඒවා විවිධ අංශ ඔස්‌සේ පැතිර විවිධ ප්‍රදෙAශවල භාවිතයේ පවතී. මහනුවර සමය වනවිට මන්ත්‍ර තැනීම ද මෙරට සිදුවනු දක්‌නට ලැබේ. ඌවේ කුඩා මොහොට්‌ටාල එවක සිටි මහා මන්ත්‍රාචාර්යවරයා සේ ප්‍රකට අතර පාතාල බහිරව ශාස්‌ත්‍රය නමැති මහා මන්ත්‍ර පොතක්‌ ඔහු සතුව තිබී ඇත. මෙම පොත දේව, යක්‌ බන්ධන හා අඳුන් ක්‍රම, වශී ගුරුකම් ආදිය චිත්‍ර සහිතව දක්‌වන ලද්දකි. තවත් මෙකල හේරත් අධිකාරියෙන් පැවත එන බණ්‌ඩාරනායක නාවල ඔල මොහොට්‌ටි නම් ලද පණ්‌ඩිත ශාස්‌ත්‍රවාදී බබහාමි නම් තැනැත්තකු විසින් මන්ත්‍ර තෙලිඟු බසින් හෙළ බසට නගා ඇත. මෙවැනි පරිවර්තන හැරුණු විට විශාල වශයෙන් ලංකාවේම මන්ත්‍ර ලියෑවෙන්නට වූ බව පෙනේ. එවැනි මන්ත්‍ර ලියූ අයකු ලෙස දෙමටපිටියේ සංඝරක්‍ෂිත හිමි ගැන සඳහන් වේ.

මන්ත්‍ර යනු ශාස්‌ත්‍ර විශේෂයකි. සුබ හා අසුබ යෑයි සම්මත ගණ පිහිටුවා කරනු ලබන අක්‍ෂර සංයෝජනය තුළින් ඉෂ්ට හා අනිෂ්ට ඵල ලබා දෙන සේ යන්ත්‍රයන්හි සුරක්‍ෂිතව අසුරා අත - කර - ඉණ බඳිනු ලැබීම සිරිතක්‌ වේ. ඒවායෙහි නානාවිධ බල මහිමයන් වෙතැයි ආදියෙහි සිට ජනතාවෝ ඇදහූහ. නූතන විද්‍යාව ග්‍රහතාරකා සොයමින් අනන්ත සක්‌වලට ඉගිල ගියද ප්‍රාථමික මූලයන් සමඟ පැවැති බැඳීම් හා විශ්වාසවලින් මිදීමට මිනිසා අපොහොසත්ව හිඳිනු පෙනේ.

ගුණපාල ජයතිස්‌ස

උපුටා ගැනීම : දිවයින 

1 comments: